සේවා වනිතා අලුත් අවුරුදු පොළ 2018 උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙයි
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි සන්ධ්‍යා රණසිංහ මහත්මියගේ උපදෙස් සහ මගපෙන්වීම යටතේ වාර්ෂිකව පවත්වනු ලබන අලුත් අවුරුදු පොළ මෙවරත් පසුගිය අප්‍රේල් 10 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතන‍ පරිශ්‍රයේදී අති උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සේවා වනිතා ඒකකයේ හිටපු සභාපතිනි ශාලිකා පෙරේරා මහත්මිය සහ හිටපු නාවික හමුදාධිපති, අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා සහභාගී වූ අතර, සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන දැල්වීමේ චාරිත්‍රයෙන් අනතුරුව ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගීවූ සේවා වනිතා ඒකකයේ හිටපු සභාපතිනි පෙරේරා මහත්මියගේ සුරතින් අවුරුදු පොළ විවෘත කිරීම සිදු කරන ලදී.

ඉන් පසු පරිභෝගිකයන් හට භාණ්ඩ ලබා ගැනීමේ අවස්ථාව උදා වුන ලද අතර, අවුරුදු පොළෙහි වෙළඳ කුටි තුල වියළි ආහාර ද්‍රව්‍ය, රෙදි පිළි, පාවහන්, එළවළු, පළතුරු, පැල වර්ග සහ අනෙකුත් ගේ දොර අවශ්‍ය ද්‍රව්‍ය සහනදායී මිලකට අලෙවි කරන ලදී.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වියිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා,නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, නීල් රොසයිරෝ මහතා, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා, සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන්, බටහිර නාවික විධානයට සහ නාවික හමුදා මුලස්ථානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන්, නාවිකයන් මෙන්ම ඔවුන්ගේ පවුල් වල සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් එක් වී සිටියහ.

මෙම අවස්ථාව සනිටුහන් කරනු වස් සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය හා නාවික හමුදාධිපතිතුමන් විසින් සේවා වනිතා ඒකකයේ හිටපු සභාපතිනි, ශාලිකා පෙරේරා මහත්මියට සහ හිටපු නාවික හමුදාධිපති, අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා හට සමරු ත්‍යාග ද ප්‍රදානය කරන ලදී.