සේවා වනිතා පොසොන් බැති ගී ප්‍රසංගය උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙයි
මෙවර පොසොන් උත්සවය නිමිති කර ගනිමින් නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි, සන්ධ්‍යා රණසිංහ මහත්මියගේ උපදෙස් මත නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් සංවිධානය කරන ලද පොසොන් බැති ගී ප්‍රසංගය පසුගිය ජුනි මස 04 වන දින කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම, අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
එම උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන්, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ හිටපු සභාපතිනි, නෙලුකා දිසානායක මහත්මිය සහ හිටපු නාවික හමුදාධිපති, අද්මිරාල් සෝමතිලක දිසානායක මහතා සහභාගී විය. එම ප්‍රසංගය සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් සහ නාවික හමුදා වාදක අංශයේ නාවිකයන්ගේ ගායන වාදන සහ ඉදිරිපත් කිරීම් වලින් වර්ණවත් වූ අතර, එම උත්සවය සාර්ථක අයුරින් පැවැත්වීම පිළිබඳව ප්‍රධාන ආරාධිත අමුත්තන්ගේ සහ පැමිණ සිටි සියළු දෙනාගේම පැසසුමට ලක් විය. එහිදී ගරු සභාපතිනිය සහ නාවික හමුදාධිපතිතුමා විසින් නාවික හමුදා සේවා වනිතා ඒකකයේ හිටපු සභාපතිනි, නෙලුකා දිසානායක මහත්මිය සහ හිටපු නාවික හමුදාධිපති, අද්මිරාල් සෝමතිලක දිසානායක මහතා හට සමරු තිළින ප්‍රදානය කිරීමක්ද සිදු කෙරුණි. තවද, බැති ගී ප්‍රසංගය අගය කරනු වස් එය අධික්‍ෂණය සහ බැති ගී පුහුණු කිරීම සඳහා දායකත්වය ලබා දුන් සේවා වනිතා ඒකකයේ සාමාජිකා සහ සබරගමු විශ්ව විද්‍යාලයේ භාෂා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී, විශාරද ආචාර්ය ප්‍රියංකා වීරසේකර මහත්මිය හට ද සේවා වනිතා ඒකකයේ සභාපතිතුමිය අතින් ත්‍යාග ප්‍රදානය කිරීමක් ද සිදු කෙරිණි.
මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා ඇතුළු නාවික හමුදා මුලස්ථානයේ සහ බටහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන්, සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, නිලධාරීන් ඇතුළු නාවිකයන් විශාල පිරිසක් ද මෙම උත්සව අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.












