රණවිරු අර්ධ නිවාස ණය ව්‍යාපෘතියේ 22 වන අදියරේ II වන කොටස ක්‍රියාත්මක කෙරේ
 

මාතෘ භූමියේ ඒකීයභාවය වෙනුවෙන් වූ මානුෂීය මෙහෙයුමේදී දිවිපිදු රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් සඳහා සහ අබාධිත වූ රණවිරු පුද්ගලයින් සඳහා අර්ධ නිවාස ව්‍යාපෘතිය යටතේ එක් නාවිකයෙකුට රුපියල් ලක්ෂ තුනක (රු.300,000.00) බැගින් අබාධිත නාවික පුද්ගලයින් 14 දෙනෙකු සඳහා රු. 4,200,000.00 ණය මුදලක් රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය මඟින් ලබා දීමට කටයුතු කර ඇත.

මෙම පොලී රහිත නිවාස ණය ව්‍යාපෘතියේ පළමු අදියර 2017 ජුනි මස 21 වන දින ක්‍රියාත්මක කළ අතර, එහිදී එක් නාවිකයෙකුට රු. 150,000.00 ක් බැගින් අබාධිත නාවික හමුදා රණවිරුවන් 14 දෙනෙකු සඳහා රු. 2,100,000.00 ක ණය මුදලක් ප්‍රදානය කිරීමට කටයුතු කරන ලදී.

ඒ අනුව, එහි දෙවන අදියර යටතේ එම නාවිකයින් හට ඉතිරි ණය මුදල ප්‍රදානය කිරීම පසුගිය ජුනි 03 වන දින නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, සන්ධ්‍යා රණසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා සේවා වනිතා කාර්යාලයේදී සිදු කෙරිණි. මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ ගරු උප සභාපතිනිය, තමරා රොසයිරෝ මහත්මිය, සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් සහ සේවා වනිතා ඒකකයේ නිලධාරින් පිරිසක් ද සහභාගීවි සිටියහ.