ශ්‍රීලංනානෞ පණ්ඩුකාභය ආයතනයේ යෝගට් ව්‍යාපෘති නව ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබේ
 

පුනෑව, ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනයේ සේවා වනිතා යෝගට් ව්‍යාපෘති නව ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, සන්ධ්‍යා රණසිංහ මහත්මියගේ සුරතින් පසුගිය ජුලි මස 15 වන දින එම ආයතන පරිශ්‍රයේදී සිදු කෙරිණි.

බෞද්ධාගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව චිරාගත සම්ප්‍රදායානුකූලව එළඹි සුභ මොහොතින් සේවා වනිතා ඒකකයේ සභාපතිතුමිය විසින් ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබූ අතර, එම අවස්ථාව සඳහා උතුරු මැද ප්‍රදේශභාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු ප්‍රියන්ත පෙරේරා මහතා, අණභාර නිලධාරි (පුනෑව) සහ ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ ආඥාපති, කපිතාන් අශෝක විජේසිරිවර්ධන මහතා, ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනයේ අණදෙන නිලධාරි, කපිතාන් සුමිත්‍ර ෆොන්සේකා මහතා ඇතුළු උතුරු මැද විධානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙන්ම සේවා වනිතා ඒකකයට අනුයුක්ත නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් සහභාගීවී සිටි අතර, උත්සව අවස්ථාවට පැමිණ සිටි කාන්තා නාවිකයින් සමඟ සේවා වනිතා සභාපතිතුමිය සුහද පිළිසඳරක ද නිරත වන ලදී.

තවද, සේවා වනිතා ඒකකයේ සභාපතිතුමිය, වර්තමානයේ යෝගට් ව්‍යාපෘතිය පවත්වනගෙන යනු ලබන ගොඩනැගිල්ල සහ සේවා වනිතා සුභසාධක වෙළදසැලෙහි නිරික්‍ෂණ චාරිකාවාරයක ද නිරත වන ලදී. අනතුරුව පුනෑව, ඉසින්බැස්සගල රජමහා විහාර‍ස්ථානය වැඳපුදා ගැනීමටද කටයුතු කරන ලද අතර, ඉසින්බැස්සගල රජමහා විහාර‍ස්ථා‍නයේ විහාරාධීපති, මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ උතුරු නුවරගම් පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී ගුණරතන, ආචාර්ය කඩවත්ගම පියරතන නායක හිමිපාණන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමට ද එතුමිය කටයුතු කරන ලදී.