සේවා වනිතාවෝ මුල්ලේරියාව මානසික රෝහලේ රෝගින්ගේ සුවදුක් විමසති
 

නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් සිදු කරනු ලබන සමාජ සත්කාරක වැඩසටහන්හි තවත් එක් අංගයක් ලෙස, සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, සන්ධ්‍යා රණසිංහ මහත්මියගේ මගපෙන්විම යටතේ එතුමිය ඇතුළු සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් පිරිසක් පසුගිය අගෝස්තු 22 වන දින මුල්ලේරියාව මානසික රෝහලේ වාට්ටු අංක 7 හි නේවාසිකව ප්‍රථිකාර ලබන රෝගීන්ගේ සුවදුක් විමසීම සඳහා එක්විය.

තවද, ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් නඩත්තු කරනු ලබන එම වාට්ටුවේ පූර්ණ අළුත්වැඩියා කටයුතු සිදු කිරීමෙන් අනතුරුව ඔවුන් සඳහා ඉතා පෝෂ්‍යදායී මෙන්ම ප්‍රනීත දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීමටද එහිදී සේවා වනිතාවෝ කටයුතු කරන ලද අතර, සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ අදහසකට අනුව නාවික හමුදා සංගීත අංශයේ නාවිකයන් විසින් ප්‍රථිකාර ලබන රෝගීන් උදෙසා ගීත ගායනා කිරීමක් ද සිදු කරන ලදී. එහිදී ඔවුන් ඉතාමත් ප්‍රීතියට පත් වූ අතර, එම කර්තව්‍යට රෝහල් කාර්යය මණ්ඩලයේ විශේෂ ප්‍රසාදය හිමි විය. ඉන් අනතුරුව ප්‍රථිකාර ලබන රෝගීන් වෙනුවෙන් එම රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්යය මණ්ඩලය විසින් සිදු කරනු ලබන මෙහෙය සහ කැපවීම අගයනු වස්, සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය සන්ධ්‍යා රණසිංහ මැතිණිය සහ සේවා වනිතා ඒකකයේ උප සභාපතිනි, අරුන්දති ජයන්ති මහත්මිය විසින් මුල්ලේරියාව මානසික රෝහලේ රෝහල් අධ්‍යක්ෂකතුමා ප්‍රධාන වෛද්‍ය කණ්ඩායම වෙත තිළිණ ප්‍රදානය කිරීමක් ද රෝගීන් වෙනුවෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රධානය කිරීමක් ද සිදු කරන ලදී.

මෙම සියළුම කර්තව්‍යයන් ඉතා උසස් අයුරින් සංවිධානය කර තිබීම සම්බන්ධයෙන් රෝහල් කාර්යය මණ්ඩලය සිය හෘදයාංගම ස්තූතිය සහ ප්‍රශංසාව නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, සන්ධ්‍යා රණසිංහ මහත්මිය හට සහ සේවා වනිතා ඒකකයේ සියළුම සාමාජිකාවන් වෙත පිරිනමන ලද අතර, මෙම අවස්ථාව සඳහා සේවා වානිතා ඒකකයේ සාමාජිකාවන්, නාවික හමුදා නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් ද සහභාගී වී සිටියහ.