ශ්‍රීලංනානෞ දක්ෂිණ නාවික පෙ‍රපාසලේ දරු දැරියන්ගේ වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය උත්කර්ශවත් අයුරින් පැවැත්වෙයි
 

නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් පවත්වාගෙන යනු ලබන ගාල්ල, ශ්‍රී ලංකා නාවික නෞකා දක්ෂිණ ආයතනයේ නාවික පෙර පාසලෙහි දරු දැරියන්ගේ 2018 වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය පසුගිය නොවැම්බර් 27 වන දින සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ මග පෙන්විම යටතේ දකුණු නාවික විධාන භාර ආඥාපතිතුමන් හා එම මැතිණියගේ පුර්ණ අධික්‍ෂණය යටතේ බූස්ස ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ ශ්‍රවණාගාරයේදී උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.

එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, සන්ධ්‍යා රණසිංහ මැතිණිය සහභාගී විය. එහිදී පෙර පාසල් දරු දැරියන් විසින් සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

ඉන් අනතුරුව ආරාධිත අමුත්තන් විසින් චාරිත්‍රානුකූල පොල්තෙල් පහන දැල්වීමෙන් පසුව විවිධ ප්‍රසංගය ආරම්භ කෙරිණි. පෙර පාසලේ දරු දැරියන්ගේ නර්ථන, ගායන සහ අනෙකුත් ඉදිරිපත් කිරීම් වලින් අලංකාරවත් වූ අතර, මෙම ප්‍රසංගය සඳහා සහභාගී වූ දරු දැරියන්ගේ දක්‍ෂතා අගයනු වස් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි සන්ධ්‍යා රණසිංහ මැතිණිය අතින් ත්‍යාග ප්‍රධානය කරන ලදී. එමෙන්ම ‍පෙර පාසල් ගුරුවරියන් සහ සහායිකාවන් දිරි ගැන්වීම උදෙසා ඔවුන් හට තෑගි වවුචර් ප්‍රදානය කිරීමක් ද එහිදී සිදු විය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය සහ දකුණු නාවික විධානය භාර ආඥාපතිතුමාගේ භාර්‍යාව වන සීකේඒ සමරවීර මැතිණිය හට නාවික පෙර පාසලෙහි දරුවන් විසින් නිර්මාණය කරන ලද සමරු තිළිණයක් ද ප්‍රදානය ‍කරන ලදී.

මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ/කණිෂ්ඨ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ/කණිෂ්ඨ නාවික නිලධාරීන්, සේවා වනිතා ඒකකයේ නිලධාරීන්, පෙර පාසලේ ගුරුවරුන්, දරු දැරියන් මෙන්ම දෙමාපියන් විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ.