සේවා වනිතාවෝ ලෝක කාන්තා දිනය සමරයි

පසුගිය මාර්තු මස 08 වන දිනට යෙදි තිබූ ලෝක කාන්තා දිනයට සමගාමීව නාවික හමුදා සේවා වනිතා ඒකකය වැඩසටහන් කිහිපයක් සංවිධානය කර තිබූ අතර, ඒ අනුව, සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, ජේකේ අරුන්දති උදිතමාලා ජයනෙත්ති මැතිණියගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ චාල්ස් තෝමස් සහෝදරතුමන් ‍මෙහෙයවනු ලබන ‘කඳුළ’ විශේෂ වැඩසටහන පැවැත්වීමට කටයුතු කරන ලදී.

ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණූ ආයතනයේ එළිමහන් පරිශ්‍රයේදී පැවැති මෙම දේශණය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සහභාගී වූ අතර, ගෞරවාන්විත ආරාධිත අමුත්තා වශයෙන් සේවා වනිතා ඒකකයේ හිටපු ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මැතිණිය සහභාගි විය. තවද, බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළු‍ගේතැන්න, සේවා වනිතා ඒකකයේ ගරු උප සභාපතිනිය, හිටපු නාවික හමුදාධිපතිවරුන්, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ හිටපු ගරු සභාපතිනියන් ඇතුළු සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ සාමාජිකාවන්, බටහිර නාවික විධානයට අයත් ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, නාවිකයින් හා ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් සහ සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලය ඇතුළුව 2000 කට අධික පිරිසක් මෙම වැඩසටහන ශ්‍රවණය කිරීම සඳහා සහභාගී වී සිටියහ.

මෙම වැඩසටහන මෙහෙයවිම අගයනු වස් ප්‍රධාන දේශක චාල්ස් තෝමස් සහෝදරතුමන් වෙත සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ සුරතින් සමරු තිළිණ ප්‍රධානයක් ද සිදු කරන ලදී. එමෙන්ම මෙම වැඩසටහනට සහභාගිවි සිටි සියළුදෙනා විසින් මෙවැනි වැඩසටහනක් සංවිධානය කිරීම පිළිබඳව නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිතුමිය ඇතුළු ගරු සාමාජිකාවන් හට මෙන්ම එම කාර්ය මණ්ඩලය හට ස්තූතිය පුද කිරීමට ද කටයුතු කරන ලදී.