සේවා වනිතා අලුත් අවුරුදු පොළ 2019 උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙයි

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි ජේකේ අරුන්දති උදිතමාලා ජයනෙත්ති මැතිණියගේ උපදෙස් සහ මඟපෙන්වීම මත සංවිධානය කරන ලද අලුත් අවුරුදු පොළ පසුගිය අප්‍රේල් 10 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතන‍ පරිශ්‍රයේදී අති උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සේවා වනිතා ඒකකයේ හිටපු සභාපතිනි, සන්ධ්‍යා රණසිංහ මහත්මිය සහ ගෞරවණිය ආරාධිත අමුත්තා වශයෙන් හිටපු නාවික හමුදාධිපති සහ වත්මන් වරාය හා නාවික අමාත්‍යාංශයේ ලේකම්, අද්මිරාල් සිරිමෙවන් රණසිංහ ජ්‍යේෂ්ඨ නිලධාරිතුමා සහභාගී විය. සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන දැල්වීමේ චාරිත්‍රයෙන් අනතුරුව ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගීවූ සේවා වනිතා ඒකකයේ හිටපු සභාපතිනියගේ සුරතින් අවුරුදු පොළ විවෘත කිරීම සිදු කරන ලදී.

ඉන් පසු පරිභෝගිකයන් හට භාණ්ඩ ලබා ගැනීමේ අවස්ථාව උදා වූ අතර, අවුරුදු පොළෙහි වෙළඳ කුටි තුල වියළි ආහාර ද්‍රව්‍ය, රෙදි පිළි/නිමි ඇදුම් සහ අනෙකුත් එදිනෙදා අවශ්‍ය ද්‍රව්‍ය සහනදායී මිලකට අලෙවි කරන ලදී.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, ජේකේ අරුන්දති උදිතමාලා ජයනෙත්ති මැතිණිය, උප සභාපතිතුමිය ඇතුළු ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ සාමාජිකාවන්, ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවික හමුදා නිලධාරින් සහ නිලධාරිනියන්, සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලය මෙන්ම නාවික හමුදා ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් ඇතුළු සිවිල් සේවක මහත්ම මහත්මින් විශාල පිරිසක් සහභාගිවි සිටියහ.

තවද, මෙම අවස්ථාව සනිටුහන් කරනු වස් සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය විසින් සේවා වනිතා ඒකකයේ හිටපු සභාපතිනි, සන්ධ්‍යා රණසිංහ මහත්මියට සහ හිටපු නාවික හමුදාධිපති සහ වත්මන් වරාය හා නාවික අමාත්‍යාංශයේ ලේකම්, අද්මිරාල් සිරිමෙවන් රණසිංහ ජ්‍යේෂ්ඨ නිලධාරිතුමා හට සමරු ත්‍යාග ද ප්‍රදානය කරන ලදී.