වෙසක් උත්සවය නිමිත්තෙන් නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සංවිධානයෙන් සුමදුර ධර්ම දේශනාවක් පවත්වයි

මෙවර වෙසක් උත්සවය නිමිති කර ගනිමින් නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් සංවිධානය කළ සුමදුර ධර්ම දේශනාවක් සහ දානමය පුණ්‍යකර්මයක් 2019 මැයි 18 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

ඒ අනුව බෞද්ධ පිංවතුන්ගේ අසිරිමත් වෙසක් මංගල්‍ය නිමිතිකර ගනිමින් නාවික හමුදා සේවා වනිතා ඒක‍කයේ සභාපතිනි, අරුන්දති උදිතමාල ජයනෙත්ති මැතිණියගේ සංකල්පයකට සහ මඟපෙන්විම යටතේ සේවා වනිතා ඒකකය මඟින් මෙම ආගමික වැඩසටහන සංවිධානය කරන ලදි. වැඩමවා වදාල පොල්පිති මූකලානේ පඤ්ඤාසිරි හිමියන් විසින් පැමිණ සිට සැදැහැවත් පිරිස පංච ශීලයේ පිහිටුවා බුදුරජානන් වහන්සේගේ තෙමගුල සිහිකරමින් සුමදුර ධර්ම දේශනාවක් පවත්වන ලදි. අනතුරුව මහා සංඝරත්නය විසිපස් (25) නමක් විෂයෙහි දහවල් දානය පිළිගැන්වීමට කටයුතු කළහ. මහා සංඝරත්නය විසින් පැමිණ සිටි සියළුදෙනා හටත් මියගිය හා ආබාධිත රණවිරුවන් හටත් පිංපෙත් අනුමෝදන් කළහ.

මෙම පුණ්‍ය කර්මය සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, අරුන්දති උදිතමාලා ජයනෙත්ති මැතිණිය, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන්, අධ්‍යක්‍ෂකවරුන්, සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන්, නාවික හමුදා ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරින් සහ සේවා වනිතා ඒකකයේ නිලධාරින් ඇතුළු විශාල බැතිමතුන් පිරිසක් සහභාගීවී සිටියහ.