නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් නාවික පෙර පාසල් ගොඩනැගිල්ලක් සඳහා මුල්ගල තබයි.

ශ්‍රීලංනානෞ පණ්ඩුකාභය ආයතනයේ අභිනවයෙන් ඉදිකිරීමට නියමිත පෙර පාසල් ගොඩනැගිල්ල සඳහා මුල්ගල් තැබීමේ උත්සවය ශ්‍රීලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, අරුන්දතී උදිතමාලා ජයනෙත්ති මැතිණියගේ සහභාගීත්වයෙන් 2019 අගෝස්තු මස 30 වන දින පෙ.ව. 1008 පැයට යෙදුන සුභ මොහොතින් සි‍දුකරන ලදි.

උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රීලංනානෞ ශික්‍ෂා සහ ශ්‍රීලංනානෞ පණ්ඩුකාභය යන ආයතනයන්හි රාජකාරි සිදුකරනු ලබන නාවික පුද්ගලයන්ගේ දරුවන්ගේ සුභසාධනය සහ අභිවෘද්ධිය උදෙසා පූර්ව ළමාවිය සංවර්ධන අධ්‍යාපනය ලබාදීම මෙමගින් අපේක්‍ෂිත මූලික අරමුණ වී ඇති අතර ආඥාපති උතුරු මැද නාවික පෙදෙස ගේ පූර්ණ අනුදැනුම මත, ආඥාපති ශ්‍රීලංනානෞ ශික්‍ෂා සහ අණදෙන නිලධාරී ශ්‍රීලංනානෞ පණ්ඩුකාභය ගේ අධීක්‍ෂණයන් යටතේ සහ විධාන සිවිල් ඉංජිනේරු නිලධාරී (උමැ) ගේ මගපෙන්වීම යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.