“පියවරක් හෙට” චිත්‍ර හා අත්කම් නිර්මාණ ප්‍රදර්ශනය කොළඹදී පැවැත්වෙයි

සෙ‍නෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ සහ තොරතුරු කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂක තුමන් හා එහි කාර්යමණ්ඩලය විසින් එහි අධ්‍යාපනය ලබන විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ නිර්මාණාත්මක කුසලතා එළිදක්වමින් “පියවරක් හෙට” නමින් පැවැත්විමට යෙදුණු චිත්‍ර හා අත්කම් නිර්මාණ ප්‍රදර්ශනය නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, අරුන්දති උදිතමාලා ජයනෙත්ති මැතිණියගේ සුරතින් 2019 දෙසැම්බර් මස 03 වන දින සෙනෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ හා තොරතුරු කෙන්ද්‍රයේදි විවෘත කරන ලදි.

ගරු සභාපතිණිය පිළිගැනිමෙන් අනතුරුව ප්‍රදර්ශන කටයුතු ආරම්භ වු අතර, විශේෂ අබාධිත දරුවන් විසින් නිර්මාණය කරන ලද චිත්‍ර හා අත්කම් නිර්මාණයන්ගෙන් ප්‍රදර්ශනය සමන්විත විය. ප්‍රදර්ශනය අවසානයේ දරුවන්ගේ නර්තන හා ගායන කුසලතාවයන් එළිදක්වමින් මියුරු ප්‍රසංගයක් පැවැත්විමට ද කටයුතු කල අතර, ප්‍රසංගය අවසානයේ දරුවන් ගේ කුසලතා අගයමින් ගරු සභාපතිතුමියගේ සුරතින් ත්‍යාග ප්‍රධානය කිරිම සිදු කරන ලදි. අනතුරුව ගරු සභාපතිතුමියගේ පැමිණිම අගයනු වස් සෙ‍නෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ සහ තොරතුරු කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂක ලුතිනන් කර්නල් ප්‍රසන්න හෙටිටිආරච්චි මැතිතුමන් විසින් සමරු තිළිණ ප්‍රධානයක්ද සිදුකරන ලදි.

තවද, මෙම උත්සව අවස්ථාව සදහා ආරාධිත අමුත්තන්, සෙ‍නෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ සහ තොරතුරු කේන්ද්‍රයේ අධ්‍යාපනය ලබන දුවා දරුවන් හා ඔවුන්ගේ දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වු අතර, මෙම ප්‍රදර්ශනය 2019 දෙසැම්බර් මස 04 වන දින අවසන් වීමට නියමිතය.