උත්තර ආයතනයේ යෝගට් ව්‍යාපෘතිය සඳහා ඉදිකරන ලද නව ගොඩනැගිල්ල විවෘත කෙරේ

සේවා වනිතා ඒකකය මගින් ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේ පවත්වාගෙන යනු ලබන යෝගට් ව්‍යාපෘතිය සඳහා නව ගොඩනැගිල්ලක් විවෘත කිරීම 2020 මාර්තු 07 වන දින සිදු කරන ලදි.

නාවික හමුදා සේවයේ නියුතු නාවික පුද්ගලයින්ගේ සුභසාධනය පෙරදැරි කර ගනිමින් ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේ පවත්වාගෙන යනු ලබන සේවා වනිතා යෝගට් ව්‍යාපෘතිය සඳහා සේවා වනිතා ඒකකයේ මූල්‍යමය ප්‍රථිපාදන යටතේ ඉදිකරන ලද නව ගොඩනැගිල්ල විවෘත කිරීම අද (2020 මාර්තු 07) සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය අරුන්දතී උදිතමාලා ජයනෙත්ති මැතිණියගේ සහභාගීත්වයෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා ගේ සුරතින් සිදු කරන ලද අතර, මේ අවස්ථාව සනිටුහන් කරමින් සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය විසින් එම පරිශ්‍රයේදී පොල් පැළ රෝපණය කිරීමද සිදු කරන ලදි.

2020 පෙබරවාරි මස 24 වන දින මෙම ගොඩනැගිලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම සිදු කරන ලද අතර, ඒ අනුව දින 12ක් වැනි ඉතා කෙටි කාලයක් තුල සාර්ථකව මෙම ගොඩනැගිල්ල ඉදිකර අවසන් කිරීමට හැකිවීම සමබන්ධයෙන් විධාන සිවිල් ඉංජිනේරු කාර්ය මණ්ඩලය මෙහිදී නාවික හමුදාධිපති තුමන්ගේ ඇගයීමට ලක්විය. මෙම ගොඩනැගිල්ල විවෘත කිරීම මගින් යෝගට් නිශ්පාදනය ඉතා පුළුල් ලෙස සිදු කිරීමටත් එමගින් නාවික පුද්ගලයින් වෙත ඉතා සාධාරණ මිළක් යටතේ එම නිශ්පාදන ලබා දීමටත් හැකියාව ලැබෙනු ඇත.

මෙම විවෘත කිරීමේ උත්සවය සඳහා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් කපිල සමරවීර, ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේ අණදෙන නිලධාරී, ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් ද සහභාගී විය.