නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිය විසින් වයඹ නාවික විධානයේ සේවා වනිතා ව්‍යාපෘතීන් නිරීක්‍ෂණය කරයි

වයඹ නාවික විධානයේ පවත්වාගෙන යනු ලබන නාවික හමුදා සේවා වනිතා ව්‍යාපෘතීන් නිරීක්‍ෂණය කිරීම සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිනිය 2020 අගෝස්තු 29 සහ 30 යන දිනයන්හි වයඹ නාවික විධානයේ සංචාරයක නිරත විය.

මෙම සංචාරය තුලදී එතුමිය විසින් ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයේ පවත්වාගෙන යනු ලබන සේවා වනිතා සුභසාධක වෙළඳසැල, යෝගට් ව්‍යාපෘතිය, නාවික පෙර පාසල සහ අළුතින් ඉදිකිරීමට යෝජිත සේවා වනිතා සුභසාධක වෙළදසැල හා ඉදිකරමින් පවතින යෝගට් ව්‍යාපෘතියෙහි විශේෂ නිරීක්‍ෂණ චාරිකාවාරයක තිරත වූ අතර එහිදී එම ව්‍යාපෘතීන් හි වර්ථමාන ප්‍රගතිය සම්බන්ධයෙන් සොයා බලන ලදි.

තවද, නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් නාවික පුද්ගලයින් වෙත ලබා දෙනු ලබන සුභසාධක සේවාවන් පුළුල් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපණ්නි ආයතනයේ නව සේවා වනිතා යෝගට් ව්‍යාපෘතියක් සහ සේවා වනිතා සුභසාධක වෙළඳසැලක් ස්ථාපිත කිරීම සඳහා යෝජිත ස්ථානයන් ගරු සභාපතිණිය විසින් නිරීක්‍ෂණය කරන ලදි. තවද, එතුමිය වයඹ නාවික විධානයේ දැනට ස්ථාපිත සේවා වනිතා ව්‍යාපෘති සඳහා අනුයුක්ත කාර්යමණ්ඩලය සමඟ එහි ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලද අතර, එම කාර්යයන් නිසි පරිදි සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන් යටතේ පවත්වාගෙන යන ලෙස එහිදී ඔවුන් හට වැඩිදුරටත් උපදෙස් ලබාදී, එම අවස්ථාව සනිටුහන් කරනු වස් ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනය මගින් සංවිධානය කරන ලද කඩොලාන පැල රෝපණය කිරිමේ අවස්ථාවටද ගරු සභාපතිතුමිය සහභාගි වන ලදි.

මෙම සංචාරය සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකාවන් සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් පිරිසක්ද එක්වූහ.