නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිය නැගෙනහිර නාවික විධානයේ සේවා වනිතා ව්‍යාපෘතීන් නිරීක්‍ෂනය කරයි

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිණිය නැගෙනහිර නාවික විධානයේ පවත්වාගෙන යනු ලබන නාවික හමුදා සේවා වනිතා ව්‍යාපෘතීන් නිරීක්‍ෂණය කිරීම සඳහා 2020 සැප්තැම්බර් 09 සහ 10 යන දෙදින නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත විය.

ගරු සභාපතිතුමිය 2020 සැප්තැම්බර් 09 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා තිස්ස ආයතනයේ පවත්වාගෙන යනු ලබන සේවා වනිතා සුභසාධක වෙළඳසැල, සේවා වනිතා අබාන්ස් ප්‍රදර්ශනාගාරය, සේවා වනිතා ත්‍යාග භාණ්ඩ වෙළඳසැල, සේවා වනිතා රූපලාවන්‍යාගාරය, සේවා වනිතා තොරතුරු තාක්‍ෂණ පුහුණු මධ්‍යස්ථානය සහ සේවා වනිතා යෝගට් ව්‍යාපෘතිය යන ව්‍යාපෘතීන්හි විශේෂ නිරීක්‍ෂණ චාරිකාවාරයක් සිදු කරමින් එම කටයුතු පරීක්‍ෂාවට ලක් කරන ලදි.

තවද, නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් නැගෙනහිර නාවික විධානයේ නාවික පුද්ගලයින් වෙත ලබාදෙනු ලබන සුභසාධක සේවාවන් පුළුල් කිරීමේ අරමුණින් ගරු සභාපතිතුමිය විසින් ත්‍රිකුණාමලය උතුර ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංනානෞ විජයබා ආයතන පරිශ්‍රයේ පිහිටි නිලාවේලි ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරී නිවාඩු නිකේතනයේ සහ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවික නිවාඩු නිකේතනයේ කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමෙන් පසු ශ්‍රී ලංනානෞ වළගම්බා ආයතන පරිශ්‍රයේ නව සේවා වනිතා යෝගට් ව්‍යාපෘතියක් ස්ථාපිත කිරීම සඳහා සුදුසු ස්ථානයක් නිරීක්‍ෂණය කිරීමට ද එක්විය. එමෙන්ම එතුමියගේ මෙම නිරීක්‍ෂණ චාරිකාව සනිටුහන් කරමින් වළගම්බා ආයතන පරිශ්‍රයේ අඹ පැලයක් රෝපනය කිරීමටද කටයුතු කෙරිණි.

2020 සැප්තැම්බර් 10 වන දින ගරු සභාපතිතුමිය විසින් ශ්‍රී ලංකා නාවික නෞකා තිස්ස ආයතනයේ සේවා වනිතා පෙර පාසලෙහි නිරීක්‍ෂණ චාරිකා වාරය සිදු කරමින් පෙර පාසලෙහි දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සොයාබලා එහි ගුරුවරියන් සමඟ සුහද පිළිසඳරක නිරතවීමෙන් අනතුරුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් පෙරපාසල් භූමියේ සඳුන් පැළයක් සහ අඹ පැළයක් ද රෝපනය කරන ලදි.

මෙම සංචාරයේදී ගරු සභාපතිතුමිය විසින් නැගෙනහිර නාවික විධානයේ සේවා වනිතා ව්‍යාපෘතීන් සඳහා අනුයුක්ත කාර්යමණ්ඩලය සමඟ ඉදිරි කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලද අතර, එම කාර්යයන් නිසි පරිදි වඩාත් සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන් යට‍තේ පවත්වාගෙන යන ලෙස එහිදි ඔවුන් හට වැඩිදුරටත් උපදෙස් ලබාදෙන ලදි.

මෙම නිරීක්‍ෂණ චාරිකාවාරය සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකා දිලිණි පෙරේරා මැතිණිය, නාවික අණභාර නිලධාරී ත්‍රිකුණාමලය උතුර, ශ්‍රී ලංකා නාවික නෞකා තිස්ස, විජයබා, වළගම්බා යන ආයතනයන්හි අණදෙන නිලධාරීන් සහ සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලයද සහභාගී වී සිටියහ.