නාවික හමුදා සේවා වනිතා ඒකකය සහ නාවික සුභසාධක අංශය මගින් කොළඹ ආරක්‍ෂක සේවා විද්‍යාලයට රුපියල් මිලියනයකට අධික වටිනාකමකින් යුත් පරිත්‍යාගයක්

නාවික හමුදා සේවා වනිතා ඒකකය සහ නාවික හමුදා සුභසාධක අංශය එක්ව රුපියල් මිලියනයකට අධික වටිනාකමකින් යුත් උපකරණ සහ පොත්පත් කොළඹ මැලේ වීදියේ ආරක්‍ෂක සේවා විද්‍යාලය වෙත පරිත්‍යාග කිරීම නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, චන්දිමා උළුගේතැන්න මැතිනියගේ ප්‍රධානත්වයෙන් 2020 සැප්තැම්බර් 14 වන දින එම විද්‍යාලීය ශ්‍රවනාගාරයේදී සිදු කෙරිණි.

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ තවත් සමාජ සත්කාරයක් ලෙස සිදුකල මෙම පරිත්‍යාගයේදී, එම විද්‍යාලය වෙත බහු මාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් (Multimedia Projector), විද්‍යාලීය පුස්තකාලයට අවශ්‍ය පොත්පත් මෙන්ම ජීව විද්‍යා සහ භෞතික විද්‍යාගාරය සඳහා අවශ්‍ය ගෘහ භාණ්ඩ ප්‍රදානය කිරීම විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී උත්සවාකාරයෙන් සිදු කරන ලදි. තවද, විද්‍යාලයේ සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා භාවිතා කරනු ලබන අක්‍රීය තත්වයේ පැවති පරිඝණක යන්ත්‍ර 20ක් නාවික හමුදාව මගින් අළුත්වැඩියා කර නැවත ක්‍රියාකාරී තත්වයට පත් කිරීම සහ පාසලේ ආරක්‍ෂාව සඳහා ඉතා අත්‍යාවශ්‍යව පැවති ආරක්‍ෂක කැමරා පද්ධතිය නැවත සවි කිරීමද නාවික හමුදා සේවා වනිතා ඒකකය සහ නාවික සුභසාධක අංශයේ දායකත්වයෙන් සිදු කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ කොළඹ ආරක්‍ෂක සේවා විද්‍යාලයේ විදුහල්පති විසින් පවසා සිටියේ, එම පාසලට දිගු කාලයක් ඉතා අවශ්‍යව පැවති අඩුපාඩු රැසක් නාවික හමුදා සේවා වනිතා ඒකකය සහ නාවික හමුදා සුභසාධක අංශයේ දායකත්වයෙන් සපුරා ගැනීමට හැකිවූ බවයි. තවද, ආරක්‍ෂක සේවා විද්‍යාලය ආරම්භ කල දින සිටම පාසලේ දූ දරුවන්ගේ සහ පාසලේ අවශ්‍යතා සපුරා දීමට ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය සිදු කරන දායකත්වය කෘතඥ පූර්වකව සිහිපත් කරන බවත්, නාවික හමුදාව විසින් 2020 සැප්තැම්බර් 14 වන දින සිදු කල පරිත්‍යාගය ඉතා අගය කොට සළකන බවත් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින ලදි.

එසේම, මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකා කුමාරි වීරසිංහ මැතිනිය, ජ්‍යේෂ්ඨ කමිටු සාමාජිකා උදේනි කුලරත්න මැතිනිය, වැ/බ අධ්‍යක්ෂ ජෙනරාල් සේවා සහ අධ්‍යක්ෂ නාවික සුභසාධක, අධ්‍යක්ෂ නාවික දන්ත වෛද්‍ය සේවා, අධ්‍යක්ෂ නාවික සිවිල් ඉංජිනේරු (සැලසුම්කරණ), කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයේ විදුහල්පති, ගුරු මණ්ඩලය, සිසු සිසුවියන් මෙන්ම සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලය ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.