සේවා වනිතා බතික් හා මල් සැකසුම් ඒකක‍ය සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට මුල්ගල තබයි

ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, චන්දිමා උළුගේතැන්න මැතිනියගේ සංකල්පයකට අනුව සේවා වනිතා ඒකකය යටතේ ක්‍රියාත්මක වන සේවා වනිතා බතික් හා මල් සැකසුම් ඒකක‍යන් මගින් ලබා දෙන සේවාවන් වඩාත් පුළුල් කිරීමේ අරමුණින් නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනියගේ සුරතින් 2020 ඔක්තොබර් මස 25 වන දින ශ්‍රීලංනානෞ ගැමුණු ආයතන පරිශ්‍රයේදී සිදු කෙරිණි.

රටෙහි දැනට පවතින කොව්ඩ් 19 අවදානම් තත්වය හමුවේ ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් සහ ක්‍රමවේදයන්ට අනුකූලව මෙම වැඩසටහන පැවැත්වීමට කටයුතු කරන ලද අතර, බෞද්ධාගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව එළඹි සුභ මොහොතින් නව ගොඩනැගිල්ල සඳහා මුල්ගල තබන ලදී.

මෙම උත්සව අවස්ථාව සඳහා නාවික අණභාර නිලධාරි (වැලිසර) කොමදෝරු ඒඑස්එල් ගමගේ, සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ අධීක්‍ෂණ නිලධාරි කොමදෝරු යුඑස් සෙනෙවිරත්න, වැ/බ අධ්‍යක්‍ෂ ජෙනරාල් සිවිල් ඉංජිනේරු කොමදෝරු එම්ජේආර්ආර් මැදගොඩ, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික සිවිල් ඉංජිනේරු (සැලසුම්) කොමදෝරු එම්ආර්පී චන්ද්‍රසේකර සහ ශ්‍රීලංනානෞ ගැමුණු ආයතනයේ අණදෙන නිලධාරි ඇතුළු සිමීත නාවික පුද්ගලයන් පිරිසක් සහභාගී වී සිටියහ.