නව සේවා වනිතා යෝගට් ව්‍යාපෘති ගොඩනැගිල්ලක් විවෘත කිරීම සහ නව ව්‍යාපෘතියක් සඳහා මුල්ගල තැබීම වයඹ නාවික විධානයේදී සිදු කෙරේ.

වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයේ අභිනවයෙන් ඉදිකරන ලද නව සේවා වනිතා යෝගට් ව්‍යාපෘති නව ගොඩනැගිල්ල විවෘත කිරීම සහ තම්බපණ්නී ආයතනයේ නව සේවා වනිතා සුභසාධක වෙළඳසැලක් හා යෝගට් ව්‍යාපෘතියක් සඳහා මුල්ගල තැබීම නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සුරතින් 2020 ඔක්තොබර් මස 30 වන දින ශ්‍රීලංනානෞ භරණ සහ තම්බපණ්නී ආයතන පරිශ්‍රයන්හීදි සිදු කෙරිණි.

නාවික හමුදා සේවයේ නියුතු නාවික පුද්ගලයින්ගේ සුභසාධනය උදෙසා සේවා වනිතා ඒකකය මගින් භරණ ආයතනයේ පවත්වාගෙන යනු ලබන සේවා වනිතා යෝගට් ව්‍යාපෘතියේ කටයුතු වඩාත් පුළුල් කරමින් ඒ සඳහා ඉදි කල මෙම අභිනව ගොඩනැගිල්ල විවෘත කිරීම නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිණිය විසින් ඔක්තෝබර් 30 වන දින සිදුකරන ලදි. තවද, වයඹ නාවික විධානයේ සේවා වනිතා ඒකකය යටතේ ක්‍රියාත්මක වන යෝගට් ව්‍යාපෘති හා සුභසාධක වෙළඳසැල් වෙතින් නාවික පුද්ගලයින් හට ලබා දෙනු ලබන සේවාවන් තවදුරටත් පුළුල් කරමින් ශ්‍රීලංනානෞ තම්බපණ්නී ආයතනයේද නව යෝගට් ව්‍යාපෘතියක් හා සුභසාධක වෙළඳසැලක් ආරම්භ කිරීම සඳහා මුල්ගල තැබීමද නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපති තුමිය විසින් එදිනම සිදුකරන ලදි.

මෙම අවස්ථාවන් සනිටුහන් කරමින් භරණ ආයතනයේ අභිනවයෙන් ඉදිකරන ලද සේවා වනිතා යෝගට් ව්‍යාපෘති නව ගොඩනැගිල්ල අභියස සහ තම්බපණ්නී ආයතන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකිරීමට නියමිත සේවා වනිතා සුභසාධක වෙළඳසැල අභියස හා සේවා වනිතා යෝගට් ව්‍යාපෘති අසල අඹ පැල රෝපණය කිරීමටද නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිය විසින් කටයුතු කෙරිණි.

රටෙහි දැනට පවතින කොව්ඩ් 19 සෞඛ්‍ය අවධානම තත්වය හමුවේ පවත්නා සෞඛ්‍ය හා නිරෝධායන නීතිරීති වලට අනුකූලව පවත්වන ලද මෙම වැඩසටහන් සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකා වන්ද්‍රිකා දසනායක මැතිණිය, වයඹ නාවික විධානයේ අඥාපති රියර් අද්මිරාල් ඩීකේපී දසනායක, වයඹ නාවික විධානය භාර නියෝජ්‍ය අඥාපති හා එම මැතිණිය මෙන්ම ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් ඇතුළු සීමීත නාවික පුද්ගලයින් පිරිසක් සහභාගී වී සිටියහ.