නව සේවා වනිතා යෝගට් ව්‍යාපෘති ගොඩනැගිලි දෙකක් සඳහා මුල්ගල තැබීම නැගෙනහිර නාවික විධානයේදී සිදු කෙරේ

නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා වළගම්බා සහ විදුර ආයතනයන්හි ඉදිකිරීමට යෝජිත නව සේවා වනිතා යෝගට් ව්‍යාපෘති ගොඩනැගිලි දෙකක් සඳහා මුල්ගල තැබීම නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සුරතින් 2020 නොවැම්බර් 04 වන දින ශ්‍රීලංනානෞ වළගම්බා සහ විදුර ආයතන පරිශ්‍රයන්හීදි සිදු කෙරිණි.

නාවික හමුදා සේවා වනිතා ඒකකය යටතේ ක්‍රියාත්මක වන යෝගට් නිශ්පාදන නාවික හමුදාව තුල වඩාත් ප්‍රචලිත කිරීමේ අරමුණ පෙරදැරි කරගනිමින් එම නිශ්පාදන ධාරිතාවය වැඩි කිරීම සඳහා ඉදිකිරීමට යෝජීත නව ගොඩනැගිලි දෙකක් වෙනුවෙන් නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිණිය විසින් නොවැම්බර් 04 වන දින මෙලෙස ශ්‍රීලංනානෞ වළගම්බා සහ විදුර ආයතන පරිශ්‍රයන්හීදි ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව මුල්ගල තැබීම සිදුකරන ලදි. තවද, සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනියගේ සංකල්පයකට අනුව වළගම්බා ආයතනයේ නාවික පුද්ගලයින්හට ලබා දෙනු ලබන සේවාවන් වඩාත් පුළුල් කිරීමේ අරමුණින් නව සුභසාධක වෙළඳසැලක් ස්ථාපිත කිරීම සඳහා සුදුසු ස්ථානයක් නිරීක්‍ෂණය කිරීමද ගරු සභාපති තුමිය විසින් මෙදින සිදුකරන ලදි.

මෙම අවස්ථාවන් සනිටුහන් කිරීම සඳහා ශ්‍රීලංනානෞ වළගම්බා සහ විදුර ආයතන පරිශ්‍රයන්හි අභිනවයෙන් ඉදිකිරීමට නියමිත යෝගට් ව්‍යාපෘති ගොඩනැගිලි අසල අඹ සහ පොල් පැල රෝපණය කිරීමටද නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිය විසින් කටයුතු කෙරිණි.

රටෙහි දැනට පවතින කොව්ඩ් 19 සෞඛ්‍ය අවධානම් තත්වය හමුවේ පවත්නා සෞඛ්‍ය හා නිරෝධායන නීතිරීති වලට අනුකූලව පවත්වන ලද මෙම වැඩසටහන් සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකා දිලිනි පෙරේරා මැතිණිය, නැගෙනහිර නාවික විධානයේ නියෝජ්‍ය අඥාපති, ත්‍රිකුණාමලය උතුර නාවික අණභාර නිලධාරී, ත්‍රිකුණාමලය දකුණ නාවික අණභාර නිලධාරී, ශ්‍රීලංනානෞ විදුර ආයතනයේ ආඥාපති, වළගම්බා සහ විදුර ආයතනයන්හි අණදෙන නිලධාරීන් මෙන්ම සේවා වනිතා සමාජිකාවන්, ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් ඇතුළු සීමීත නාවික පුද්ගලයින් පිරිසක් සහභාගී වී සිටින ලදි.


වලගම්බා ආයතනයේ ඉදිකිරීමට යෝජිත නව සේවා වනිතා යෝගට් ව්‍යාපෘති ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම


වලගම්බා ආයතනයේ ඉදිකිරීමට යෝජිත නව සේවා වනිතා සුභ සාධක වෙළඳසැල ස්ථාපිත කිරීම සඳහා සුදුසු ස්ථානයක් නිරීක්‍ෂණය


විදුර ආයතනයේ ඉදිකිරීමට යෝජිත නව සේවා වනිතා යෝගට් ව්‍යාපෘති ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම