ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චිත්‍රානි ගුණරත්න මැතිණිය ත්‍රිකුණාමලයේ නාවික හමුදා සේවා වනිතා ව්‍යාපෘතීන්හි සංචාරයක නිරත වෙයි

ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චිත්‍රානි ගුණරත්න මැතිණිය 2020 දෙසැම්බර් මස 12 වන දින ත්‍රිකුණාමලයේ ශ්‍රී ලංනානෞ තිස්ස ආයතනයේ පිහිටි නාවික හමුදා සේවා වනිතා ව්‍යාපෘතීන්හි නිරීක්‍ෂන චාරිකාවාරයක නිරත විය.

ශ්‍රී ලංනා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිණියගේ ආරාධනයෙන් ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය මෙම නිරීක්‍ෂන සංචාරය සඳහා එක් වූ අතර, එතුමිය විසින් ශ්‍රීලංනානෞ තිස්ස ආයතනයෙහි පිහිටි සේවා වනිතා සුභසාධක වෙළඳසැල, සේවා වනිතා අබාන්ස් ප්‍රදර්ශනාගාරය, සේවා වනිතා ත්‍යාග භාණ්ඩ වෙළඳසැල, සේවා වනිතා රූපලාවන්‍යාගාරය, සේවා වනිතා පරිගනක පුහුණු මධ්‍යස්ථානය, සේවා වනිතා පෙර පාසල හා දිවා සුරැකුම් මධ්‍යස්ථානය යන ස්ථානයන්හි නිරීක්‍ෂන චාරිකාවාරය සිදු කරන ලදි.

තවද, ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චිත්‍රානි ගුණරත්න මැතිණිය විසින් මෙම චාරිකාවාරය සනිටුහන් කරමින් සේවා වනිතා පෙර පාසල් පරිශ්‍රයෙහි පැණි දොඩම් පැළයක් රෝපනය කිරීම සිදු කරන ලද අතර, එහිදී පෙර පාසලෙහි දරුදැරියන් හා ගුරුභවතුන් විසින් නිර්මාණය කරන ලද සමරු තිළිණයක් ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය වෙත ප්‍රදානය කිරීම නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිනිය විසින් සිදු කරන ලදි.

කොවිඩ් 19 අවදානම් තත්වය හමුවේ වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් සිදු කරන ලද මෙම චාරිකාවාරය සඳහා නාවික හමුදා සේවා වනිතා විධායක කමිටු සාමාජිකා දිලිණි පෙරේරා මැතිණිය ඇතුළු සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන්, ශ්‍රීලංනානෞ තිස්ස ආයතනයේ නිලධාරීන් පිරිසක් සහ සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලයද සහභාගී වී සිටියහ.