නව සේවා වනිතා යෝගට් ව්‍යාපෘති ගොඩනැගිලි දෙකක් විවෘත කිරීම සහ සේවා වනිතා සුභසාධක වෙළඳසැලක් සඳහා මුල්ගල තැබීම නැගෙනහිර නාවික විධානයේදී සිදු කෙරේ

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ සංකල්පයකට අනුව නාවික පුද්ගලයින් වෙත ලබා දෙන සුභ සාධන සේවාවන් පුළුල් කරලීමේ අරමුණ පෙරදැරිව නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා වළගම්බා සහ විදුර ආයතනයන්හි අභිනවයෙන් ඉදිකළ සේවා වනිතා යෝගට් ව්‍යාපෘති ගොඩනැගිලි දෙකක් විවෘත කිරීම සහ වළගම්බා ආයතනයේ සේවා වනිතා සුභසාධක වෙලඳසැලක් සඳහා මුල්ගල තැබීම නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සුරතින් 2021 ජනවාරි 24 වන දින ශ්‍රීලංනානෞ විදුර සහ වළගම්බා ආයතන පරිශ්‍රයන්හීදි සිදු කෙරිණි.

නාවික හමුදා සේවා වනිතා ඒකකය යටතේ ක්‍රියාත්මක වන යෝගට් නිශ්පාදන නාවික හමුදාව තුළ වඩාත් ප්‍රචලිත කිරීමේ අරමුණින් එම නිශ්පාදන ධාරිතාවය වැඩි කිරීම සඳහා ඉදිකල නව ගොඩනැගිලි දෙකක් (02)නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිණිය විසින් ජනවාරි 24 වන දින ශ්‍රීලංනානෞ විදුර සහ වළගම්බා ආයතන පරිශ්‍රයන්හීදි මෙලෙස විවෘත කිරීම සිදුකරන ලදි. තවද, වළගම්බා ආයතනයේ නව සුභසාධක වෙළඳසැලක් සඳහා ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව මුල්ගල තැබූ ගරු සභාපති තුමිය විසින් එම අවස්ථාව සනිටුහන් කරමින් වළගම්බා ආයතයේ අභිනවයෙන් ඉදිකල යෝගට් ව්‍යාපෘති ගොඩනැගිල්ල අසල අඹ පැලයක් රෝපණය කිරීමටද කටයුතු කෙරිණි.

රටෙහි දැනට පවතින කොව්ඩ් 19 සෞඛ්‍ය අවධානම් තත්වය හමුවේ පවත්නා සෞඛ්‍ය හා නිරෝධායන නීතිරීති වලට අනුකූලව පවත්වන ලද මෙම වැඩසටහන් සඳහා නැගෙනහිර නාවික විධානයේ අඥාපති රියර් අද්මිරාල් රුවන් පෙරේරා, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකා දිලිනි පෙරේරා මැතිණිය, ත්‍රිකුණාමලය උතුර නාවික අණභාර නිලධාරී, ත්‍රිකුණාමලය දකුණ නාවික අණභාර නිලධාරී, ශ්‍රීලංනානෞ විදුර ආයතනයේ පුහුණු ආඥාපති, ශ්‍රීලංනානෞ වළගම්බා සහ විදුර ආයතනයන්හි අණදෙන නිලධාරීන් මෙන්ම සේවා වනිතා සමාජිකාවන්, ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් ඇතුළු සීමීත නාවික පුද්ගලයින් පිරිසක් සහභාගී වී සිටින ලදි.


වළගම්බා ආයතනයේ සුභසාධක වෙලඳසැලක් සඳහා මුල්ගල තැබීම


වළගම්බා ආයතනයේ අභිනවයෙන් ඉදිකළ සේවා වනිතා යෝගට් ව්‍යාපෘති ගොඩනැගිල්ල විවෘත කිරීම


විදුර ආයතනයේ අභිනවයෙන් ඉදිකළ සේවා වනිතා යෝගට් ව්‍යාපෘති ගොඩනැගිල්ල විවෘත කිරීම