වැලිසර නාවික කඳවුරු සංකීර්ණයේ ස්ථාපිත භෝජනාගාරයන් සේවා වනිතා ඒකකය යටතේ නව මුහුණුවරකින් විවෘත කෙරේ

වැලිසර නාවික කඳවුරු සංකීර්ණයට අනුයුක්ත නාවික පුද්ගලයින් සහ නාවික මහ රෝහල කොළඹ වෙත පැමිණෙන නාවික පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් හට ඉතා උසස් සේවාවක් ලබා‍දීම අරමුණු කරගනිමින් වැලිසර නාවික කඳවුරු සංකීර්ණය පරිශ්‍රයේ සහ නාවික මහ රෝහල කොළඹ පරිශ්‍රයේ ස්ථාපිත සේවා වනිතා භෝජනාගාරයන් (Cafeteria) නව මුහුණුවරකින් 2021 ජනවාරි මස 25 වන දිනට යෙදුණු සුභ මෙහොතින් නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, චන්දිමා උළුගේතැන්න මැතිණියගේ ආරාධනයෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ජ්‍යේෂ්ඨ නිලධාරීතුමන්ගේ සුරතින් නාවික පුද්ගලයින් උදෙසා විවෘත කරන ලදී.

‍‍මෙම උත්සව අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ ගරු උප සභාපතිනී කුමාරි වීරසිංහ මැතිණිය ඇතුළු සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන්, ධජ නිලධාරීන් ආරාධිත ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන්/ නිලධාරිණියන් සහ සේවා වනිතා ඒකකයේ කාර්යය මණ්ඩලය සහභාගී වන ලදී.

තවද, සේවා වනිතා ඒකකය යටතේ ක්‍රියාත්මක වන සේවා වනිතා බතික් හා මල් සැකසුම් ඒකක‍යන් මගින් සේවාදායකයින් හට ලබා දෙන සේවාවන් වඩාත් පුළුල් කිරීමේ අරමුණින් ඉදිවෙමින් පවතින නව ගොඩනැගිලි සංකීර්ණය සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ නිරීක්‍ෂණයට ලක්විය.

අනතුරුව, සුනඛ සංචිතය වෙනුවෙන් ශ්‍රීලංනානෞ ගැමුණු ආයතනයේ සුනඛ සංචිතය ස්ථාපිත පරිශ්‍රයෙහි නව ප්‍රථිකාර සහ පරිපාලන ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමද එදින සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලද අතර, ‍මෙම උත්සව අවස්ථාව සඳහා බටහිර නාවික පෙදෙස භාර ආඥාපති රියර් අද්මිරාල් මෙරිල් සුදර්ශන ජ්‍යේෂ්ඨ නිලධාරීතුමන්, විධායක කමිටු සාමාජිකා අයෝනි වෑවිට මැතිණිය, සේවා වනිතා විධායක කමිටු සාමාජිකා දිලිණි පෙරේරා මැතිණිය සහ නාවික අණභාර නිලධාරී (වැලිසර) මෙන්ම සේවා වනිතා ඒකකයේ කාර්යය මණ්ඩලයද සහභාගී වන ලදී.


කොළඹ නාවික මහරෝහල පරිශ්‍රයේ ස්ථාපිත සේවා වනිතා භෝජනාගාරයන් නව මුහුණුවරකින් විවෘත කිරීම


නාවික හමුදා සුනඛ සංචිතය වෙනුවෙන් ශ්‍රීලංනානෞ ගැමුණු ආයතනයේ නව ගොඩනැගිල්ලක් සඳහා මුල්ගල තැබීම සහ සේවා වනිතා ඒකකය යටතේ ක්‍රියාත්මක වන බතික් හා මල් සැකසුම් එකකයන් සඳහා ඉදිකෙරෙන ගොඩනැගිල්ල නිරීක්‍ෂණය කිරීම