ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් කාන්තා දින සැමරුම් වැඩසටහනක් සංවිධානය කෙරේ

මාර්තු 08 දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් කාන්තා දින සැමරුම් වැඩසටහනක් ආරක්‍ෂක අමාත්‍යංශ සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චිත්‍රානි ගුණරත්න මැතිණියගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න හා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ සහභාගීත්වයෙන් 2021 මාර්තු 08 වන දින අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවනාගාරයේදී ඉතා උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.

මෙම වැඩසටහන සඳහා ගෞරවනීය ආරාධිත අමුත්තන් වශයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රනීත් අභයසුන්දර මහතා, මනෝ චිකිත්සක හා මනෝ උපදේශිකා අමා දිසානායක මහත්මිය, ප්‍රවීන සූපවේදී දේශබන්දු අචාර්ය ටී පබිලිස් සිල්වා මහතා, ජනාධිපති සම්මානලාභී ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිණී ජීඩබ් ස්වර්ණා ජයන්ති මහත්මිය, ප්‍රවීණ මාධ්‍යවේදිනී රසාදරි පීරිස් මහත්මිය, ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී සුනීතා කොතලාවල මහත්මිය සහභාගී වූහ.

මෙවර කාන්තා දිනයට සමගාමීව සේවා වනිතා ඒකකයේ සුවිශේෂී අංගයක් ලෙස ගරු සභාපතිතුමියගේ සංකල්පයකට අනුව ‘සිඳුලිය’ නමින් සගරාවක් එළිදැක්වීමට කටයුතු කරන ලද අතර, ‘සිඳුලිය’ සගරාවෙහි මංගල පිටපත ආරක්‍ෂක අමාත්‍යාංශීය සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චිත්‍රානි ගුණරත්න මැතිණිය වෙත සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිය විසින් පිළිගන්වන ලද අතර, ඉන් අනතුරුව නාවික හමුදාධිපතිතුමන් ඇතුළු උක්ත ගෞරවනීය ආරාධිත අමුත්තන් වෙත ‘සිඳුලිය’ සඟරාවෙහි පිටපත් සංකේතාත්මකව සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිය විසින් පිළිගන්වන ලදී. මෙහිදී මෙම වැඩසටහන සඳහා සහභාගී වූ ප්‍රධාන ආරාධිත අමුත්තිය ඇතුළු සම්පත් දායකත්වය ලබාදුන් ගෞරවනීය ආරාධිත අමුත්තන් වෙත සමරු තිළිණ ප්‍රදානය කිරීමද සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ සුරතින් සිදුකරන ලදී.

තවද, ජ්‍යාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිතුමියගේ සංකල්පයකට අනුව දේශයේ සෞභ්‍යාග්‍ය උදෙසා කාන්තා දායකත්වය සම්බන්ධයෙන් දෙරණ 24 නාළිකාව ඔස්සේ සජීවී වැඩසටහනක් ප්‍රවීණ නිවේදිකා වසන්තා හෙට්ටිආරච්චිගේ මෙහෙය වීමෙන් ශ්‍රී ලංකා නාවික නෞකා ‘සයුරළ’ නෞකාවේදී පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යන අංශයේ මහාචාර්ය අගලකඩ සිරි සුමන හිමියන්, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රනීත් අභයසුන්දර මහතා, මහාචාර්ය අත්තනායක එම් හේරත් මහතා, රුහුණු විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්ය මනෝ උපදේශිකා සන්ද්‍යා අමරසිංහ මහත්මිය, ජාත්‍යන්තර කාන්තා පදනමේ නිර්මාතෘ සහ ප්‍රධානී නිරෝශී නන්දසිරි මහත්මිය සහ කපිතාන් (වෛද්‍ය) මනෝ විද්‍යා විශේෂඥ වෛද්‍ය තුෂානී අප්සරා හේනේගම යන විද්වත් මණ්ඩලය සහභාගී වූහ. මෙම අවස්ථාව සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපති තුමිය ඇතුළු, ජ්‍යේෂ්ඨ සාමාජිකාවන්, නාවික හමුදාධිපති ඇතුළු ජ්‍යේෂ්ඨ සහ කනිෂ්ඨ නිලධාරී පිරිසක් සහභාගී වූහ.

නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කළ කාන්තා දින සැමරුම් වැඩසටහන සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය චන්දිමා උළුගේතැන්න මැතිණිය, ධජ නිලධාරීන්, ජ්‍යේෂ්ඨ සහ කනිෂ්ඨ නිලධාරීන් හා නිලධාරිණියන්, සේවා වනිතා සාමාජිකාවන්, නාවිකයින් සහ කාන්තා නාවිකයින්, නාවිකයින්ගේ භාර්යාවන්, සිවිල් සේවක මහත්මීන් මෙන්ම සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලය ද සහභාගී වූහ.