නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිය ආබාධිත නාවික රණවිරුවන්ගේ සුවදුක් විමසයි

ශ්‍රී ලංකා නාවික හමුදා සක්‍රීය සේවයෙහි යෙදී සිටියදී ආබාධිත තත්වයට පත් නාවික රණවිරුවන් වෙනුවෙන් නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් ඉදිකරන ලද ‘Anchorage Naval Care Center’ හි සිටින ආබාධිත රණවිරුවන්ගේ සුවදුක් විමසීම සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, චන්දිමා උළුගේතැන්න මැතිනිය 2021 අප්‍රේල් මස 23 වන දින එහි සංචාරයක නිරත විය.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි හා බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් මෙරිල් සුදර්ශන, සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකා අයෝණි වෑවිට මැතිනිය, ධජ නිලධාරීන් ඇතුළු ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සේවා වනිතා ඒකකයේ සමාජිකාවන් සහ සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලය ද සහභාගී වී සිටියහ.