වයඹ නාවික විධානයේ අභිනව සේවා වනිතා යෝගට් ව්‍යාපෘති ගොඩනැඟිල්ල විවෘත කෙරේ

නාවික හමුදා සේවයේ නියුතු නාවික පුද්ගලයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුභසාධනය පෙරදැරි කර ගනිමින් නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ මග පෙන්වීම මත ශ්‍රිලංනානෞ තම්බපණ්ණි ආයතනයේ අභිනවයෙන් ඉදිකළ සේවා වනිතා යෝගට් ව්‍යාපෘති ගොඩනැගිල්ල 2021 අගෝස්තු මස 08 වන දිනට යෙදුන සුභ මොහොතින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න ගේ සහභාගිත්වයෙන් සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිය චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සුරතින් විවෘත කරන ලදි.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සංවිධානය කරන ලද මෙම උත්සව අවස්ථාව සඳහා වයඹ නාවික විධානයේ ආඥාපති ‍රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකා උදේනි කුලරත්න මැතිණිය, ජ්‍යෙෂ්ඨ අධීක්‍ෂණ නිලධාරී සේවා වනිතා ව්‍යාපෘති රියර් අද්මිරාල් සුජීව සෙනවිරත්න‚ වයඹ නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු ප්‍රසාද් කාරියප්පෙරුම, ශ්‍රීලංනානෞ විජය ආයතනයේ අණදෙන නිලධාරී කපිතාන් ආර්එම්එල් රත්නතිලක හා එම මැතිණිය‚ ශ්‍රීලංනානෞ තම්බපණ්ණි ආයතනයේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් ඊඑම්ආර් සිල්වා‚ ශ්‍රීලංනානෞ භරණ ආයතනයේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් පීවීපීකේ රණතුංග‚ ශ්‍රීලංනානෞ ථේරපුත්ත ආයතනයේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් එච්එම්පීඑස්බී හිටිනායක‚ ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයේ අණදෙන නිලධාරී බීජීපීඑෆ්ඒ වික්‍රමසූරිය හා එම මැතිණිය ඇතුළු ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරින්, සේවා වනිතා ඒකකයේ සාමාජිකයින් සහ කාර්යය මණ්ඩලය සහභාගී වන ලදී.