ලෝක ළමා දිනය නිමිත්තෙන් නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් ත්‍රිකුණාමලය රේවත ළමා නිවාසය වෙත පරිත්‍යාගයක්

ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ 2021 ඔක්තොබර් මස 01 වන දිනට යෙදුණු ලෝක ළමා දිනය නිමිති කොට ගනිමින් ත්‍රිකුණාමලය හතර කණුව ප්‍රදේශයෙහි පිහිටි රේවත ළමා නිවාසයේ සිටින දූ දරුවන් වෙත දිවා ආහාරය හා ද්‍රව්‍යමය පරිත්‍යාගයන් ලබා දීමේ වැඩසටහනක් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිණියගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කෙරිණි.

ඒ අනුව ත්‍රිකුණාමලය හතර කණුව ප්‍රදේශයේ පිහිටි අඩු පහසුකම් සහිත රේවත ළමා නිවාසයේ සිටින දූ දරුවන් 26 දෙනෙකු වෙනුවෙන් දිවා ආහාරය හා අවශ්‍ය අනෙකුත් ද්‍රව්‍යමය පරිත්‍යාගයන් ප්‍රධානය කිරීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිණිය, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සංජීව ඩයස්, සේවා වනිතා විධායක කමිටු සමාජිකා ගංගා ඩයස් මැතිණිය, සේවා වනිතා ඒකකයේ සමාජිකා කමිලා බෝවත්ත මැතිණිය සහ දස්නි උචින්තා අමරකෝන් මැතිණියගේ සහභාගීත්වයෙන් 2021 ඔක්තෝබර් මස 01 වන දින එම ළමා නිවාසයේදී සිදු කරන ලදී.

තවද, පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්‍ට අනුකූලව සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා ශ්‍රීලංනානෞ තිස්ස ආයතනයේ අණදෙන නිලධාරි කපිතාන් ටීඅයි විජේසූරිය ඇතුළු සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලයේ සීමිත පිරිසක් සහභාගී වී සිටියහ.