නාවික හමුදා සේවා වනිතා ඒකකයේ තවත් සමාජ සත්කාර්යයක් ලෙස මහව, බක්මීගහවත්ත ගම්මානයට ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානයක්

නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් ක්‍රියාත්මක කරනු ලබන තවත් එක් සමාජ සත්කාරයක් ලෙස මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංක 141 බක්මීගහවත්ත ග්‍රාම නිලධාරී වසමේ ඉදිකරන ලද ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානය, සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය චන්දිමා උළුගේතැන්න මැතිණියගේ ආරාධනයෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ සුරතින් 2021 ඔක්තෝබර් මස 10 වන දින එම පරිශ්‍රයේදී ජනතා අයිතියට පත් කෙරිණි.

ඒ අනුව, මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංක 141 බක්මීගහවත්ත ග්‍රාම නිලධාරී වසමේ එක්සත් අවමංගල්‍යාධාර සමිතියේ සභාපතිතුමාගේ ඉල්ලීමකට අනුව එම ග්‍රාම නිලධාරී වසමේ සහ අවට ගම්වාසීන්ගේ ප්‍රයෝජනය සඳහා ඩීබී සිලෝන් ආයතනයේ අධිපති ධනංජය බංඩාර මහතාගේ මූල්‍යමය දායකත්වයෙන් සහ නාවික හමුදාවේ තාක්ෂණික හා ශ්‍රම දායකත්වය යටතේ මෙම ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානය ඉදිකර මෙලෙස ජනතා අයිතියට පත් කරන ලදී.

පවත්නා සෞඛය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවති මෙම ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාව සඳහා වයඹ නාවික විධානයේ ආඥාපති ‍රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකා උදේනි කුලරත්න මැතිණිය, නාවික සමාජයීය මෙහෙවර ව්‍යාපෘතියේ ජ්‍යේෂ්ඨ සම්බන්ධීකාරක කපිතාන් ඩබ්එල්එන් ගුණසේකර, නාවික ස්ථානගතකිරීම මහව ආයතනයේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් ආර්ඩබ්ආර් නිමල්සිරි, නාවික හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහ සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලය ඇතුළු සීමිත පිරිසක් සහභාගී වී සිටින ලදී.