ආරක්ෂක සේවා ටෙනිස් ශූරතාවය නාවික හමුදාව දිනා ගනියි

2021 වර්ෂයේ පවත්වන ලද 11 වන ආරක්ෂක සේවා ටෙනිස් තරගාවලියේදී විශිෂ්ට දස්කම් ප්‍රදර්ශනය කළ ශ්‍රී ලංකා නාවික හමුදාව ආරක්ෂක සේවා ටෙනිස් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට සමත් වූ අතර, 2021 මාර්තු මස 20 වන දින පැවති තරගාවලියේ අවසන් දිනයේ ත්‍යාග ප්‍රධානෝත්සවය නාවික හමුදාධිපති සහ නාවික හමුදා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්‍රධානත්වයෙන් නරාහෙන්පිට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ටෙනිස් පිටියේදී පැවැත්විණි.

2021 මාර්තු මස 13 වන දින සිට 20 වන දින දක්වා නාරාහෙන්පිට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ටෙනිස් පිටියේදී පවත්වන ලද ආරක්ෂක සේවා ටෙනිස් තරගාවලිය සඳහා කණ්ඩායම් අංශය, විවෘත අංශය, වයස අවුරුදු 45ට වැඩි ඒකල හා යුගල, වයස අවුරුදු 50ට වැඩි ඒකල හා යුගල වශයෙන් පැවති තරග ඉසවු සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් තරගකරුවන් සහභාගී විය.

නාවික හමුදාව විවෘත ඒකල ඉසව්වේ රන් පදක්කමත්, විවෘත යුගල ඉසව්වේ රන් පදක්කම් 02ත්, වයස අවුරුදු 45ට වැඩි ඒකල ඉසව්වේ රන් පදක්කම හා රිදී පදක්කමත් දිනා ගන්නා ලද අතර, එහි යුගල ඉසව්වේ රන් පදක්කම් 02 සහ රිදී පදක්කම් 02 දිනා ගැනීමට ද සමත් විය. තවද, වයස අවුරුදු 50ට වැඩි ඒකල ඉසව්වේ රන් පදක්කම හා රිදී පදක්කම ද නාවික හමුදාව දිනාගත් අතර, එහි යුගල ඉසව්වේද රන් පදක්කම් 02 නාවික හමුදාව විසින් හිමිකර ගන්නා ලදී.

මෙම තරගාවලියේ පැවති සියලුම තරග ඉසව් ජයග්‍රහණය කරමින් නාවික හමුදාව රන් පදක්කම් 09ක් දිනා ගන්නා ලදි. මීට අමතරව නාවික හමුදාව තවත් රිදී පදක්කම් 04ක් දිනා ගත් අතර, යුද්ධ හමුදාව රිදී පදක්කම් 03ක් සහ ගුවන් හමුදාව රිදී පදක්කම් 02ක් දිනා ගන්නා ලදී. ඒ අනුව, නාවික හමුදාව සම්පූර්ණ ලකුණු 57ක් ලබා ගනිමින් 2021 වසරේ ආරක්ෂක සේවා ටෙනිස් ශූරතාවයත්, යුද්ධ හමුදාව ලකුණු 42ක් ලබා ගනිමින් ආරක්ෂක සේවා ටෙනිස් අනුශූරතාවයත් දිනා ගන්නා ලදී.

තවද නාවික හමුදාධිපති ගේ ප්‍රධානත්වයෙන් පැවති ආරක්ෂක සේවා ටෙනිස් තරගාවලියේ ත්‍යාග ප්‍රධානෝත්සවය සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් පුද්ගල රියර් අද්මිරාල් උපුල් ද සිල්වා, නාවික හමුදා අධ්‍යක්‍ෂ ක්‍රීඩා කොමදෝරු ඒඑස්එල් ගමගේ ඇතුළු ත්‍රිවිධ හමුදා ජ්‍යේෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී වී සිටියහ.