‍2022 වසරේ නාවික හමුදා අන්තර් විධාන ස්කොෂ් ශූරතාවය දකුණු නාවික විධානය දිනාගනියි

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන ස්කොෂ් තරඟාවලිය, 2022 සැප්තැම්බර් මස 14 වන දින සිට සැප්තැම්බර් මස 17 දක්වා නැගෙනහිර නාවික විධාන ස්කොෂ් ක්‍රිඩා පිටියේදී පැවති අතර, එම තරඟාවලියෙහි ශූරතාවය දකුණු නාවික විධානය විසින්ද, එහි සම අනුශූරතාවය දියත් විධානය සහ උතුරු මැද නාවික විධානය විසින්ද, දිනාගැනීමට සමත් විය.

ඒ අනුව, 2022 සැප්තැම්බර් මස 17 වන දින සාර්ථකව නිමාවට පත් වූ ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන ස්කොෂ් තරඟාවලියේදී, පිරිමි නවක අංශයේ ශූරතාවය උතුරු නාවික විධානය නියෝජනය කළ ලුතිනන් (ඉ) ඩබ්එම්එම්ඩබ් බංඩාර විසින් දිනාගැනීමට සමත් වූ අතර එහි අනුශූරතාවය නැගෙනහිර නාවික විධානය නියෝජනය කළ ලුතිනන් කොමාණ්ඩර්(ඉ) ඒජීඑස් සිල්වා විසින් දිනාගැනීමට සමත්විය. එමෙන්ම කාන්තා නවක අංශයේ ශූරතාවය උතුරු නාවික විධානය නියෝජනය කළ ආධුනික කාන්තා නැවි එච්එම්එස්ඕබී හේරත් විසින් දිනාගන්නා ලද අතර, එම විධානයේම ආධුනික කාන්තා නැවි ආර්එම්සී මදුමාලි විසින් එහි අනුශූරතාවය දිනාගැනීමට සමත් විය. පිරිමි වයස අවුරුදු 35 ට වැඩි අංශයේ ශූරතාවය දකුණු නාවික විධානය නියෝජනය කළ සුළු නිලධාරී (ශාරීරික අභ්‍යාසක) ජේපීඅයි ඉශාර විසින් දිනාගත් අතර, එහි අනුශූරතාවය දකුණු නාවික විධානය නියෝජනය කළ සුළු නිලධාරී (ශාරීරික අභ්‍යාසක) ඩබ්ඒඩී ප්‍රියදර්ශන විසින් දිනාගන්නා ලදි.

එමෙන්ම, පිරිමි වයස අවුරුදු 40 ට වැඩි අංශයේ ශූරතාවය උතුරු මැද නාවික විධානය නියෝජනය කළ රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක විසින් දිනාගන්නා ලද අතර, එහි අනුශූරතාවය දියත් විධානය නියෝජනය කළ සමූහ ප්‍රධාන සුළු නිලධාරී ඒඒසී කුමාර විසින් දිනාගන්නා ලදි. මෙම තරඟාවලියේ පිරිමි විවෘත අංශයේ ශූරතාවය දකුණු නාවික විධානය නියෝජනය කළ නායක නැවි (ශාරීරික අභ්‍යාසක) එම්එච්අයි බුද්ධික විසින් දිනාගන්නා ලද අතර, එම විධානයේම නායක නැවි (ශාරීරික අභ්‍යාසක) එච්එම්ඒ ප්‍රියන්ත විසින් එහි අනුශූරතාවය දිනාගන්නා ලදි.

2022 සැප්තැම්බර් මස 17 වන දින පැවති මෙම තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් ජයන්ත කුලරත්නගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර, එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා ස්කොෂ් සංගමයේ සභාපති කපිතාන් මනෝජ් ලීලාරත්න ඇතුළු නැගෙනහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් සහභාගීවී සිටියහ.