2022 ජාතික බර ඉසිලීමේ තරඟාවලියේදී නව තරඟ වාර්තාවක් සමඟින් ජයග්‍රහණ රැසක් දිනා ගැනීමට නාවික හමුදාව සමත් වෙයි

2022 නොවැම්බර් මස 10 සිට 13 දක්වා පොළොන්නරුව ජාතික ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වුණු 2022 ජාතික බර ඉසිලීමේ තරඟාවලියේදී ජයග්‍රහණ රැසක් දිනා ගනිමින්, කාන්තා බර ඉසිලීමේ සමස්ථ ශූරතාවය නාවික හමුදා කාන්තා බර ඉසිලීමේ කණ්ඩායමත් එහි පිරිමි අංශයේ අනුශූරතාවය නාවික හමුදා පිරිමි බර ඉසිලීමේ කණ්ඩායමත් දිනාගත් අතර, එහිදී පොදු රාජ්‍ය මණ්ඩලීය පදක්කම්ලාභී නායක නැවි ඩීඑම්අයිසී දිසානායක ස්නැච් ක්‍රමය යටතේ කිලෝ ග්‍රෑම් 136 ක බරක් ඔසවමින් ඔහු විසින්ම මීට පෙර තබා තිබූ තරඟ වාර්තාව අළුත් කිරීමට සමත්විය.

ක්‍රීඩා අමාත්‍යංශයේ මූලිකත්වයෙන් පොළොන්නරුව දිස්ත්‍රික් බර ඉසිලීමේ සංගමය විසින් සංවිධානය කරන ලද 2022 ජාතික බර ඉසිලීමේ තරඟාවලිය සඳහා ත්‍රිවිධ හමුදාව ඇතුළු දිවයිනේ ප්‍රකට බර ඉසිලීමේ ක්‍රීඩා සමාජ නි‍යෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී විය. මෙම තරඟාවලිය සඳහා නාවික හමුදා කාන්තා බර ඉසීලිමේ කණ්ඩායම් නියෝජනය කරමින් බර පන්ති 06 ක් යටතේ තරඟ වැදුනු ක්‍රීඩිකාවන් රන් පදක්කම් 02 ක්, රිදී පදක්කම් 04 ක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනාගනිමින් තරඟාවලියේ කාන්තා අංශයේ ශූරතාවය දිනාගැනීමට සමත්වූ අතර, නාවික හමුදා පිරිමි බර ඉසිලීමේ කණ්ඩායම නියෝජනය කරමින් බර පංති 07 ක් යටතේ තරඟ වැදුනු නාවික හමුදා ක්‍රීඩකයින් එහිදී, රන් පදක්කම් 04 ක්, රිදී පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 02ක් දිනාගනිමින් තරඟාවලියේ පිරිමි අංශයේ අනුශූරතාවය දිනා ගැනීමට සමත් විය.

ඒ අනුව, මෙම තරඟාවලියේදී කිලෝ ග්‍රෑම් 73 බර පංතිය යටතේ තරඟ වැදුනු, 21 ක් වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලහිදී රිදී පදක්කමක් මව්බිමට දිනා දුන් නා‍යක නැවි ඩීඑම්අයිසී දිසානායක ස්නැච් ක්‍රමය යටතේ කිලෝ ග්‍රෑම් 136 ක් ඔසවමින් රන් පදක්කමක් දිනා ගත් අතර, එහිදී මීට පෙර කිලෝ ග්‍රෑම් 134 ක් ඔසවා ඔහු විසින්ම තබන ලද තරඟ වාර්තාව අළුත් කිරීමටද ඔහු සමත් විය. තවද, කිලෝ ග්‍රෑම් 89 බර පංතිය ය‍ටතේ තරඟ වැදුනු සාමාන්‍ය නැවි වීඑස්ජී විදානගේ, කිලෝ ග්‍රෑම් 102 බර පංතිය ය‍ටතේ තරඟ වැදුනු සාමාන්‍ය නැවි එස්එම් පීටර්ස් සහ කිලෝ ග්‍රෑම් 109 ට වැඩි බර පංතිය ය‍ටතේ තරඟ වැදුනු සාමාන්‍ය නැවි ඩබ්පීයූ චාරුක යන නාවිකයන්ද එහිදී රන් පදක්කම් දිනා ගැනීමට සමත් විය.

මෙම තරඟාවලියේ කිලෝ ග්‍රෑම් 61 බර පංතිය යටතේ තරඟ වැදුනු නා‍යක නැවි ඊඒඩීකේ එගොඩවත්ත සහ කිලෝ ග්‍රෑම් 109 බර පංතිය යටතේ තරඟ වැදුනු සාමාන්‍ය නැවි ඩබ්පීජීඩී ජයවික්‍රම රිදී පදක්කම් දිනා ගැනීමට සමත් වූ අතර, කිලෝ ග්‍රෑම් 102 බර පංතිය යටතේ තරඟ වැදුනු නා‍යක නැවි එල්ඩී කුලසිංහ සහ කිලෝ ග්‍රෑම් 81 බර පංතිය යටතේ තරඟ වැදුනු සාමාන්‍ය නැවි එල්අයිඑම්එස් ලියනාරච්චි විසින් එහිදී ලෝකඩ පදක්කම් දිනා ගන්නා ලදී.

මෙම තරඟාවලියේ කාන්තා අංශයෙන් කිලෝ ග්‍රෑම් 81 බර පංතිය යටතේ තරඟ වැදුනු බල කාන්තා නැවි බීසී ප්‍රියන්ති සහ කිලෝ ග්‍රෑම් 55 බර පංතිය යටතේ තරඟ වැදුනු බල කාන්තා නැවි ඩබ්සීඑම් වර්ණකුලසූරිය රන් පදක්කම් දිනා ගන්නා ලද අතර, එහිදී බල කාන්තා නැවි ඩබ්සීඑම් වර්ණකුලසූරිය කාත්නා අංශයේ හොඳම ඔසවන්නිය බවටද තේරී පත් විය.

තරඟාවලිය සඳහා කිලෝ ග්‍රෑම් 81 බර පංතිය යටතේ තරඟ වැදුනු සාමාන්‍ය කාන්තා නැවි එච්එන්කේ ප්‍රනාන්දු, කිලෝ ග්‍රෑම් 87 බර පංතිය යටතේ තරඟ වැදුනු සාමාන්‍ය කාන්තා නැවි එම්එම්ඩී හරිස්චන්ද්‍ර, කිලෝ ග්‍රෑම් 76 බර පංතිය යටතේ තරඟ වැදුනු සාමාන්‍ය කාන්තා නැවි එස්එස් කුමාරසිංහ සහ කිලෝ ග්‍රෑම් 45 බර පංතිය යටතේ තරඟ වැදුනු සාමාන්‍ය කාන්තා නැවි ජේජීයූආර් ගුණතිලක යන ක්‍රීඩිකාවන් විසින් මෙම තරඟාවලියේදී රීදී පදක්කම් දිනා ගන්නා ලදී.

එමෙන්ම මෙම තරඟාවලියේදී කාන්තා අංශයේ කිලෝ ග්‍රෑම් 45 බර පංතිය යටතේ තරඟ වැදුනු සාමාන්‍ය කාන්තා නැවි කේඑම්ඩීපී ඉෂාරි සහ කිලෝ ග්‍රෑම් 87 ට අඩු බර පංතිය යටතේ තරඟ වැදුනු සාමාන්‍ය කාන්තා නැවි ඩීඑම්එච්පී දිසානායක විසින් ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් විය.

තවද, නාවික හමුදා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන වත්මන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ, නාවික හමුදා ක්‍රීඩා ‍‍ක්‍ෂේත්‍රයේ යටිතල පහසුකම් පුළුල් කිරීම සහ නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුභසාධන පහසුකම් වර්ධනය කිරීම වෙනුවෙන් සිදුකෙරෙන විශේෂ වැඩපිළිවෙල හේතුවෙන් නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ජාතික හා ජාත්‍යන්තර තලයේ ජයග්‍රහණ මව්බිමට දිනා දීමට හැකියාව ලැබී ඇත.