12 වන ආරක්ෂක සේවා මල්ලවපොර තරඟාවලියේදී පිරිමි සම ශූරතාවය සහ කාන්තා අනුශූරතාවය නාවික හමුදාව දිනාගනියි

2022 නොවැම්බර් මස 22 සිට 24 දක්වා පනාගොඩ යුද හමුදා කඳවුරු පරිශ්‍රයේදී පැවැත්වූණු 12 වන ආරක්‍ෂක සේවා මල්ලවපොර තරඟාවලියේදී ජයග්‍රහණ රැසක් දිනා ගනිමින්, තරඟාවලියේ පිරිමි අංශයේ සම ශූරතාවය ගුවන් හමුදාව සමඟ දිනාගැනීමට නාවික හමුදා පිරිමි මල්ලවපොර කණ්ඩායම සමත් වූ අතර, කාන්තා අංශයේ අනුශූරතාවය නාවික හමුදා කාන්තා මල්ලවපොර කණ්ඩායම් විසින් දිනාගැනිමට සමත්විය.

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සංවිධානය කරන ලද 12 වන ආරක්‍ෂක සේවා මල්ලවපොර තරඟාවලිය සඳහා ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී විය. මෙම තරඟාවලිය සඳහා නාවික හමුදා පිරිමි මල්ලවපොර කණ්ඩායම නියෝජනය කරමින් බර පන්ති 08 ක් යටතේ තරඟ වැදුනු ක්‍රීඩකයින් රන් පදක්කම් 04 ක්, රිදී පදක්කම් 03 ක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනාගනිමින් තරඟාවලියේ පිරිමි අංශයේ සම ශූරතාවය දිනාගැනීමට සමත්වූ අතර, නාවික හමුදා කාන්තා මල්ලවපොර කණ්ඩායම නියෝජනය කරමින් බර පංති 05 ක් යටතේ තරඟ වැදුනු නාවික හමුදා ක්‍රීඩිකාවන් එහිදී, රන් පදක්කම් 02 ක්, රිදී පදක්කම් 01 ක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනාගනිමින් තරඟාවලියේ කාන්තා අංශයේ අනුශූරතාවය දිනා ගැනීමට සමත් විය.

ඒ අනුව, මෙම තරඟාවලියේදී, කිලෝ ග්‍රෑම් 61 බර පංතිය ය‍ටතේ තරඟ වැදුනු නායක නැවි එස්ඩී අසංග, කිලෝ ග්‍රෑම් 65 බර පංතිය ය‍ටතේ තරඟ වැදුනු නායක නැවි සීඩී ප්‍රනාන්දු, කිලෝ ග්‍රෑම් 79 බර පංතිය ය‍ටතේ තරඟ වැදුනු නායක නැවි එච්එස් බුද්ධික, සහ කිලෝ ග්‍රෑම් 92 බර පංතිය ය‍ටතේ තරඟ වැදුනු සාමාන්‍ය නැවි බීඒ සංජිත් යන නාවිකයන් රන් පදක්කම් දිනා ගැනීමට සමත් විය.

කිලෝ ග්‍රෑම් 57 බර පංතිය ය‍ටතේ තරඟ වැදුනු සුළු නිලධාරී ඊඑම්ජී කතුරංගන විසින් රිදී පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර, තරඟාවලියේ හොඳම පරාජිත ක්‍රීඩකයාට හිමි සම්මානයද ඔහුට හිමිවිය. තවද, කිලෝ ග්‍රෑම් 74 බර පංතිය ය‍ටතේ තරඟ වැදුනු බලනැවි පීඑස්යූ ප්‍රනාන්දු, කිලෝ ග්‍රෑම් 86 බර පංතිය ය‍ටතේ තරඟ වැදුනු නායක නැවි ඊඑම්එල් ප්‍රියංකර යන නාවිකයන් ද එහිදී, රිදී පදක්කම් දිනා ගන්නා ලදි.

එමෙන්ම, මෙම තරඟාවලියේදී කිලෝ ග්‍රෑම් 65 බර පංතිය යටතේ තරඟ වැදුනු, සුළු නිලධාරී ඕඑම්ඒ චන්දිමාල් සහ කිලෝ ග්‍රෑම් 97 බර පංතිය යටතේ තරඟ වැදුනු බලනැවි(විනයාරක්‍ෂක) ඩබ්එච්එස් සඳරුවන් යන නාවිකයන් ලෝකඩ පදක්කම් දිනාගැනීමට සමත්විය.

12 වන ආරක්‍ෂක සේවා මල්ලවපොර තරඟාවලියේ කාන්තා අංශයේ කිලෝ ග්‍රෑම් 57 බර පංතිය යටතේ තරඟ වැදුනු සාමාන්‍ය කාන්තා නැවි ඩබ්එස්යූ සිල්වා සහ කිලෝ ග්‍රෑම් 68 බර පංතිය යටතේ තරඟ වැදුනු බල කාන්තා නැවි කේවීඑස්ඩී කුමාරසිංහ විසින් රන් පදක්කම් දිනාගත් අතර, කිලෝ ග්‍රෑම් 50 බර පංතිය ය‍ටතේ තරඟ වැදුනු බල කාන්තා නැවි ජේඑම්ඩී ප්‍රියදර්ශනී විසින් රිදී පදක්කමක් සමඟින් තරඟාවලියේ හොඳම පරාජිත ක්‍රීඩිකාවට හිමි සම්මානයද දිනාගැනීමට සමත් විය.

එමෙන්ම, කිලෝ ග්‍රෑම් 62 බර පංතිය ය‍ටතේ තරඟ වැදුනු නායක කාන්තා නැවි එස්එච්වයි ගුණවර්ධන සහ කිලෝ ග්‍රෑම් 76 බර පංතිය ය‍ටතේ තරඟ වැදුනු බල කාන්තා (ශාරීරික අභ්‍යාස) ඩබ්ජීඩීඕ කරුණානායක යන කාන්තා නාවිකයන් එහිදී, ලෝකඩ පදක්කම් දිනාගැනීමට සමත්විය.

තවද, නාවික හමුදා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන වත්මන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ, නාවික හමුදා ක්‍රීඩා ‍‍ක්‍ෂේත්‍රයේ යටිතල පහසුකම් පුළුල් කිරීම සහ නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුභසාධන පහසුකම් වර්ධනය කිරීම වෙනුවෙන් සිදුකෙරෙන විශේෂ වැඩපිළිවෙල හේතුවෙන් නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ජාතික හා ජාත්‍යන්තර තලයේ ජයග්‍රහණ මව්බිමට දිනා දීමට හැකියාව ලැබී ඇත.