ශ්‍රී ලංකාව නි‍යෝජනය කරමින් ‘DHAKA MARATHON - 2023’ සඳහා සහභාගී වූ නායක කාන්තා නැවි සුජානී මධුමාලී පෙරේරා මව්බිමට රිදී පදක්කමක් දිනා දෙයි

2023 ජනවාරි මස 20 වන දින බංගලාදේශයේ ඩකා අගනුවර පැවති කිලෝමීටර් 42 යි මීටර් 195 ක දුරක් දිවී‍මේ ‘DHAKA MARATHON - 2023’ කාන්තා මැරතන් තරඟය සඳහා ශ්‍රී ලංකාව නි‍යෝජනය කරමින් සහභාගි වූ නාවික හමුදා ක්‍රීඩිකා, නායක කාන්තා නැවි සුජානී මධුමාලී පෙරේරා, එම තරඟය පැය 02 යි විනාඩි 48 යි තත්පර 22 ක කාලයකින් අවසන් කර රිදී පදක්කමක් දිනා ගනිමින් ශ්‍රී ලංකා නාවික හමුදාවටත්, මව්බිමටත් ඉමහත් කීර්තියක් ගෙන දීමට සමත් විය.

2022 වර්ෂයේ ගම්පහ පැවති ජාතික මහා ක්‍රීඩා උළෙල හි කිලෝමීටර් 42 යි මීටර් 195 ක දුරක් වූ කාන්තා මැරතන් ධාවන ඉසව්ව පැය 02 යි විනාඩි 49 යි තත්පර 15 ක කාලයකින් අවසන් කරමින් මෙතෙක් ශ්‍රී ලංකාවේ ක්‍රීඩිකාවක් ලබා ගත් දෙවැනි හොඳම කාලය වාර්තා කර ඇය ‘DHAKA MARATHON - 2023’ තරඟාවලිය සඳහා සුදුසුකම් ලබා ඇත.

ඒ අනුව, ශ්‍රී ලංකාව නි‍යෝජනය කරමින් ක්‍රීඩිකාවන් තිදෙනෙකු ඇතුළුව දකුණු ආසියාතික රටවල් නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් රැසක් සහභගී වූ මෙම තරඟාවලියේදී කිලෝමීටර් 42 යි මීටර් 195 ක දුරක් පැය 02 යි විනාඩි 48 යි තත්පර 22 ක කාලයකින් අවසන් කරමින්, දෙවන ස්ථානය ලබා මව්බිමට රිදී පදක්කමක් දිනා දීමට නාවික හමුදා ක්‍රීඩිකා නායක කාන්තා නැවි සුජානී මධුමාලී පෙරේරා සමත් වූ අතර, ඇය මෙම මැරතන් ධාවන තරඟය අවසන් කිරීමට ලබා ගත් කාලය, මෙතෙක් පැවති ජාත්‍යන්තර මැරතන් තරඟයකදී ශ්‍රී ලංකික ක්‍රීඩිකාවක් ලබා ගත් හොඳම තෙවන කාලය ලෙසද සනිටුහන් විය.

එමෙන්ම, ඇය පසුගිය 2022 වර්ෂයේ ඉන්දියාවේ නාගලන්ත ප්‍රාන්තයේ පැවති රට හරහා දිවිමේ මැරතන් ධාවන ඉසව්වෙන්ද ලෝකඩ පදක්කමක් මව්බිමට ගෙන දී ඇති අතර, එම තරඟය නියෝජනය කල ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී මව්බිම වෙනුවෙන් රිදී පදක්කමක් දිනා ඇත.

තවද, 2009 වර්ෂයේ සිට ශ්‍රී ලංකා නාවික හමුදා මලල ක්‍රීඩා සංචිතය නි‍යෝජනය කරනු ලබන නායක කාන්තා නැවි සුජානී මධුමාලී පෙරේරා ක්‍රීඩිකාව, මීට පෙර ආරක්‍ෂක සේවා සහ ජාතික දුර දිවීමේ සහ මැරතන් ධාවන ඉසව් නියෝජනය කරමින් ජයග්‍රහණ ලබා ඇති අතර, ඇය මලල ක්‍රීඩා දුර දිවීමේ ධාවන ඉසව්වන්ගෙන් ලද අඛණ්ඩ ජයග්‍රහණ වෙනුවෙන් 2019 වර්ෂයේදී නාවික හමුදා වර්ණ හිමි කර ගැනීමටද සමත් වි ඇත.