‘අන්තර් විධාන මලල ක්‍රීඩා තරඟාවලිය - 2023’ සාර්ථකව අවසන් වෙයි

‘අන්තර් විධාන මලල ක්‍රීඩා තරඟාවලිය - 2023’ මෙවර උතුරු නාවික විධානයේදී 2023 පෙබරවාරි මස 11 සහ 12 යන දිනයන්හීදී සාර්ථකව පැවැත්වුණු අතර, එහි සමස්ථ පිරිමි ශූරතාවය බටහිර නාවික විධානයත්, සමස්ථ කාන්තා ශූරතාවය පුහුණු නාවික විධානයත් දිනාගැනීමට සමත් විය.

මෙම තරගාවලියේ ජවන හා පිටිය ක්‍රීඩා ඉසව් සඳහා සියළුම නාවික විධානයන් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වී සිටියහ. ඒ අනුව, කැපී පෙනෙන දක්ෂතා පිළිඹිබු කල බටහිර නාවික විධානය සමස්ථ පිරිමි ශූරතාවයත්, එහි අනුශූරතාවය නැගෙනහිර නාවික විධානයත් දිනාගන්නා ලදි. සමස්ථ කාන්තා ශූරතාවය පුහුණු නාවික විධානය විසින් දිනාගන්නා ලද අතර, එහි අනුශූරතාවය උතුරු නාවික විධානය විසින් හිමි කර ගන්නා ලදි.

“අන්තර් විධාන මලල ක්‍රීඩා තරඟාවලිය - 2023” දක්‍ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය මධ්‍ය නිලධාරීනී කේඑල්ඩීඑස් ටානියා විසින් ද, දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය ආධුනික නැවි කේඑම්ජි තත්සර විසින් ද හිමිකර ගන්නා ලදි. මෙම තරඟාවලියේදී ඉංජිනේරු කාර්මික එල්කේසීඩී කුමාර විසින් කිලෝමීටර් 21 ක් දුර දිවීමේ මැරතන් තරඟ ඉසව්වෙන් ද, නායක කාන්තා නැවි එල්එම්එම්එස් ජයරත්න ඇවිදීමේ තරඟ ඉසව්වෙන් සහ බල කාන්තා ශාරිරික අභ්‍යාසක ජීබීඑච්බී ධර්මසිරි කිලෝමීටර් 12 ක් දුර දිවීමේ මැරතන් තරඟ ඉසව්වෙන් නව අන්තර් විධාන වාර්තාවන් පිහිටුවීමට සමත් විය.

එමෙන්ම, මීටර් 100 ධාවන ඉසව්ව තත්පර 11.37 කින් අවසන් කර ජවන ක්‍රීඩා ඉසව්වන්ගෙන් දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය නායක නැවි එම්එස්එල් ශ්‍රීකාන්ත විසින් දිනාගන්නා ලද අතර, මීටර් 5000 ධාවන ඉසව්ව මිනිත්තු 20.43 කින් අවසන් කර දක්‍ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය කාන්තා ශාරීරික අභ්‍යාසක ජීබීඑච්බී ධර්මසිරි විසින් හිමි කරගන්නා ලදි. මෙම තරඟාවලියේ තුන්පිම්ම ඉසව්ව මීටර් 13.73 ක් වාර්තා කර පිටිය ඉසව්වන්ගෙන් දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය ආධුනික නැවි කේඑම්ජි තත්සර විසින් හිමිකර ගන්නා ලද අතර, දුර පැනීම මීටර් 4.25 ක් වාර්තා කර පිටිය ඉසව්වන්ගෙන් දක්‍ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය මධ්‍ය නිලධාරීනී කේඑල්ඩීඑස් ටානියා විසින් හිමිකර ගන්නා ලදි.

නාවික හමුදා ක්‍රීඩක ක්‍රිඩිකාවන්ගේ දක්‍ෂතාවයන්ගෙන් වර්ණවත් වූ 2023 අන්තර් විධාන මලල ක්‍රීඩා තරඟාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් උතුරු නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් අරුණ තෙන්නකෝන් සහභාගී වූ අතර, එහිදී ජයග්‍රාහකයන් වෙත කුසලාන සහ සහතිකපත් ලබාදීම ප්‍රධාන ආරධිතයා විසින් සිදුකෙරිණි. තවද, එම අවස්ථාව සඳහා සියළුම නාවික විධාන නියෝජනය කරමින් ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.

තවද, වාර්ෂිකව පවත්වනු ලබන අන්තර් විධාන මලල ක්‍රීඩා තරඟාවලිය මඟින් නාවික හමුදාවේ නැව් මුළුවෙහි ශාරිරික සහ මානසික යෝග්‍යතාවය අපේක්‍ෂිත මට්ටමකට පවත්වා ගැනීමත්, එමඟින් නාවික හමුදාවේ කාර්ය හා කර්තව්‍ය කාර්යක්ෂමව හා ඵලදායී ලෙස ඉටු කිරීමත් නාවික හමුදාව අපේක්‍ෂා කෙරේ.