ශ්‍රී ලංකා ජාතික රයිෆල් සංගමයේ පරිපාලනය නාවික හමුදාවට

2023 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා ඉදිරි දෙවසරක කාලසීමාවක් සඳහා ශ්‍රී ලංකා ජාතික රයිෆල් සංගමයේ පරිපාලන කටයුතු ශ්‍රී ලංකා යුද හමුදාව වෙතින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත භාරදීම, 2023 මැයි මස 18 වන දින නාවික හමුදා මූලස්ථානයේදී සිදුකෙරිණි.

ආරක්ෂක අමාත්‍යාංශය සහ ක්‍රීඩා අමාත්‍යාංශය යන අමාත්‍යංශ ද්විත්වයෙහි අධීක්ෂණය යටතේ පිහිටුවා ඇති ශ්‍රී ලංකා ජාතික රයිෆල් සංගමය වෙත ශ්‍රී ලංකාව තුල සංවිධානය කරනු ලබන ඔලිම්පික් නොවන ඕනෑම වෙඩි තැබීමේ ඉසව්වක පාලනය පිළිබඳ වගකීම පැවරේ.

ජාතික රයිෆල් සංගමයේ ව්‍යවස්ථාවට අනුව, එහි පරිපාලන කටයුතු සෑම වසර දෙකකට වරක් ත්‍රිවිධ හමුදාධිපතිවරුන් වෙත පැවරේ. ඒ අනුව, දිවයිනේ ප්‍රකට වෙඩි තැබීමේ ක්‍රීඩා සමාජ 13ක් නියෝජනය කරමින් පැමිණ සිටි නියෝජිතයින් 24 දෙනෙකු සහභාගී වූ ශ්‍රී ලංකා ජාතික රයිෆල් සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමේදී තීරණය වූ පරිදි ඉදිරි දෙවසර තුල එම සංගමයේ පරිපාලනය මෙලෙස නාවික හමුදාවට පැවරීම සිදුකෙරිණි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් ජාතික රයිෆල් සංගමයෙහි සභාපති වශයෙන් පත් කර ඇති කොමදෝරු මංජුල දිසානායක ගේ අධීක්ෂණය යටතේ එම සංගමයේ පරිපාලන කටයුතු ඉදිරි දෙවසර තුල ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකෙරෙන අතර, නාවික හමුදාව විසින් ජාතික රයිෆල් සංගමයේ පරිපාලන කටයුතු වෙනුවෙන් කපිතාන් ඩීඑම්ඩීසී බංඩාර මහලේකම් වශයෙන්ද, කොමාණ්ඩර් ලලිත් මුදියන්සේ භාණ්ඩාගාරික වශයෙන්ද, ලුතිනන් කොමාණ්ඩර් මධුෂිකා කත්‍රිආරච්චි උප ලේකම් වශයෙන්ද, ලුතිනන් එල්ටීආර්ඩබ්වයි තාඹුගල උප භාණ්ඩාගාරික වශයෙන් සහ ලුතිනන් ජීආර්එස්බී රත්මලේ නීති උපදේශක වශයෙන් පත් කෙරිණි.