අන්තර් විධාන තුන්ප්‍රයාම තරඟාවලියේ පිරිමි සහ කාන්තා ශූරතාවයන් පුහුණු විධානය දිනා ගනියි

අන්තර් විධාන තුන්ප්‍රයාම තරඟාවලිය 2023 ජුනි මස 18 වන දින නැගෙනහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු මහේෂ් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් නාවික තඨාකාංගනය ආශ්‍රිත ප්‍රදේශයේ සහ සැන්ඩිබේ වෙරළ තීරයේදී පැවති අතර, එහිදී පිරිමි සහ කාන්තා කණ්ඩායම් ශූරතාවයන් පුහුණු විධානය විසින් දිනා ගැනීමට සමත් විය.

පිරිමි සහ කාන්තා වශයෙන් පැවති මෙම තරඟාවලිය සඳහා සියලුම නාවික විධානයන් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 68 දෙනෙකු සහභාගී විය. එහිදී, මීටර් 750 ක් පිහිනීම, කිලෝමීටර් 20 ක් පාපැදි ධාවනය සහ කිලෝමීටර් 05 ක් දිවීම යන තරඟ ඉසව් ඇතුලත් වූ පිරිමි කේවල අංශයේ ප්‍රථම ස්ථානය දකුණු නාවික විධානය නියෝජනය කල නායක පාබල කේඑම්ජීයූ ලක්සිරි විසින්ද, දෙවන ස්ථානය පුහුණු විධානය නියෝජනය කල මධ්‍ය නිලධාරි කේඑන්ටී පෙරේරා විසින්ද, තෙවැනි ස්ථානය පුහුණු විධානය නියෝජනය කල නායක නැවි (කිමිදුම්) පීපීආර්ජේ කුමාර විසින්ද හිමි කර ගැනීමට සමත් විය.

එමෙන්ම, කාන්තා කේවල අංශයේ ප්‍රථම ස්ථානය දකුණු නාවික විධානය නියෝජනය කල බල කාන්තා ශාරීරික අභ්‍යාසක ඊඑම්ඒජීඑල්බී එදිරිසිංහ විසින්ද, දෙවන ස්ථානය බටහිර නාවික විධානය නියෝජනය කල බල කාන්තා ශාරීරික අභ්‍යාසක ජීඩීඩී සකුන්තලා විසින්ද, තෙවැනි ස්ථානය නැගෙනහිර නාවික විධානය නියෝජනය කල බල කාන්තා ශාරීරික අභ්‍යාසක එච්ඩබ්එච් මදුමාලි විසින්ද හිමි කර ගැනීමට සමත් විය.

තවද, මෙම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානයට අයත් ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඇතුළු විධානයන් නියෝජනය කරමින් නිලධාරීන් සහ නාවිකයින් පිරිසක් සහභාගී වී සිටියහ.