නාවික හමුදා අන්තර් විධාන රග්බි තරඟාවලිය සාර්ථකව නිමාවට පත්වෙයි

නාවික හමුදා අන්තර් විධාන රග්බි තරඟාවලිය - 2023, මෙවර උතුරු නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර රග්බි පිටියේ දී 2023 ජුලි මස 05 සිට 07 දක්වා සාර්ථකව පැවති අතර, එහි පිරිමි ශූරතාවය පුහුණු විධානය විසින් සහ කාන්තා ශූරතාවය බටහිර නාවික විධානය විසින් දිනාගැනීමට සමත් විය.

ඒ අනුව, තරඟාවලියේ අවසන් තරඟය 2023 ජුලි මස 07 වන දින උතුරු නාවික විධානය සහ පුහුණු විධානය අතර පැවැත්විණි. එහිදී දක්ෂ ලෙස ක්‍රීඩා කළ පුහුණු විධාන කණ්ඩායම ලකුණු 47/00 ක් ලෙස උතුරු නාවික විධාන කණ්ඩායම පරාජය කරමින් මෙවර අන්තර් විධාන පිරිමි රග්බි ශූරතාවය දිනාගැනීමට සමත් වූ අතර, එහි අනු ශූරතාවය උතුරු නාවික විධානයටත්, තෙවන ස්ථානය නැගෙනහිර නාවික විධානයටත් හිමි විය.

බටහිර නාවික විධානය සහ උතුරු නාවික විධානය අතර පැවති කාන්තා අවසන් තරඟය 10/05 ක් ලෙස ජයග්‍රහණය කල බටහිර නාවික විධාන කණ්ඩායම, අන්තර් විධාන කාන්තා රග්බි ශූරතාවය දිනාගත් අතර, උතුරු නාවික විධානයට එහි අනු ශූරතාවය සහ පුහුණු විධානයට එහි තෙවන ස්ථානය හිමි විය.

අන්තර් විධාන රග්බි තරඟාවලිය - 2023 හි පළඟ ශූරතාවය දියත් විධානය විසින් දිනාගැනීමට සමත් වූ අතර, බඳුන ශූරතාවය උතුරු මැද නාවික විධානය විසින් දිනාගැනීමට සමත් විය.

එමෙන්ම, තරඟාවලියේ වයස්ගතම ක්‍රීඩකයාට හිමි සම්මානය බටහිර නාවික විධානයේ ප්‍රධාන සුළු නිලධාරී එල්පීජීඩී කරුණාරත්න විසින්ද, තරඟාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය පුහුණු විධානයේ ශිෂ්‍ය භට නිලධාරී කේඒ කුලතුංග විසින් සහ දක්‍ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය බටහිර නාවික විධානයේ සාමාන්‍ය කාන්තා නැවි කේසීඩී ප්‍රනාන්දු විසින් දිනාගැනීමට සමත් විය.

තවද, අන්තර් විධාන රග්බි තරඟාවලිය - 2023 හි අවසන් දින ප්‍රධාන ආරාධිතයා වශයෙන් උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් අරුණ තෙන්නකෝන් සහභාගී වූ අතර, මෙම අවස්ථාව සඳහා උතුරු නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති කොමදෝරු එන් රණසිංහ, නාවික හමුදා රග්බි සංචිතයේ සභාපති කොමදෝරු සනත් පිටිගල ඇතුළු ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් සහභාගී වී සිටියහ.