රුවල් යාත්‍රා තරඟ ජයග්‍රහණ රැසක් ශ්‍රී ලංකා නාවික හමුදාව හිමි කර ගනියි

2023 අගෝස්තු මස 26 සහ 27 දෙදින, බොල්ගොඩ ජලාශ පරිශ්‍රයෙහි දී පැවති ‘CMYC Team Racing GP 14’ සහ ‘QEQ Sailing Challenge Trophy Open Race – 2023’ රුවල් යාත්‍රා තරඟාවලි සාර්ථකව අවසන් වූ අතර, එහිදී කැපීපෙනෙන දක්ෂතා පෙන්නුම් කල ශ්‍රී ලංකා නාවික හමුදා රුවල් යාත්‍රා කණ්ඩායම ජයග්‍රහණ රැසක් දිනා ගැනීමට සමත් විය.

කේවල සහ කණ්ඩායම් වශයෙන් අංශ දෙකකින් පැවති මෙම තරඟාවලිය සඳහා දිවයිනේ ප්‍රකට රුවල් යාත්‍රා කණ්ඩායම් රැසක් සහභාගී විය. ඒ අනුව, 2023 අගෝස්තු මස 26 වන දින පැවති ‘CMYC Team Racing GP 14’ තරඟය සඳහා RCYC කණ්ඩායම, Future Fiber කණ්ඩායම සහ CMYC කණ්ඩායම යන කණ්ඩායම් සහභාගී වූ අතර, ඒ සඳහා නාවික හමුදාව නියෝජනය කරමින් ‘ඒ’හා ‘බී’ වශයෙන් කණ්ඩායම් දෙකක් (02) සහභාගී විය. ‘CMYC Team Racing GP 14’ තරඟයෙදී දක්ෂ ලෙස ක්‍රීඩා කල නාවික හමුදා ‘බී’ කණ්ඩායම එහි ප්‍රථම ස්ථානයත්, නාවික හමුදා ‘ඒ’ කණ්ඩායම එහි තෙවන ස්ථානයත් හිමි කර ගත් අතර, නායක නැවි ඒඑම්ජේපී අත්තනායක හා නායක නැවි ඒඑස්කේ ද සොයිසා එම තරඟයේ විශිෂ්ටතම යුගලය ලෙස සම්මානයට පාත්‍ර විය.

එමෙන්ම, රුවල් යාත්‍රා කණ්ඩායම් රැසක් සහභාගී වූ 2023 අගෝස්තු මස 27 වන දින පැවති ‘QEQ Sailing Challenge Trophy Open Race - 2023’ තරඟයෙදී, නාවික හමුදා ක්‍රීඩක සුළු නිලධාරි පීඩීඩීඑස් රාජපක්ෂ ප්‍රථම ස්ථානයත්, සුළු නිලධාරි ඩබ්ඒඑස් වීරතුංග සහ නායක පාබල ජීපීපී කරුණාරත්න එහි දෙවන ස්ථානයත් හිමිකර ගැනීමට සමත් විය.