12 වන ආරක්ෂක සේවා වෙඩි තැබීමේ තරඟාවලියේදී නාවික හමුදාව ජයග්‍රහණ රැසක් හිමිකර ගනියි

2023 සැප්තැම්බර් මස 17 වන දින සිට 24 වන දින දක්වා වැලිසර, නාවික හමුදා වෙඩි තැබීමේ සංකීර්ණයේදී පැවති 12 වන ආරක්ෂක සේවා වෙඩි තැබීමේ තරඟාවලියේදී, නාවික හමුදා වෙඩි තැබීමේ සංචිතය ජයග්‍රහණ රැසක් හිමිකර ගැනීමට සමත් විය.

මෙම තරඟාවලිය සඳහා ත්‍රිවිධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් සහභාගී වූ අතර, නාවික හමුදා පිරිමි සහ කාන්තා වෙඩි තැබීමේ කණ්ඩායම්, ප්‍රායෝගික පිස්තෝල වෙඩිතැබීමේ ඉසව්වෙන් හා කුඩා සිදුරු අවි වෙඩිතැබීමේ ඉසව්වෙන් ජයග්‍රහණ රැසක් හිමි කර ගැනීමට සමත් විය.

ඒ අනුව, ප්‍රායෝගික පිස්තෝල වෙඩිතැබීමේ ඉසව්ව යටතේ පැවති සම්මත පිස්තෝල වෙඩිතැබීමේ කණ්ඩායම් ශූරතාවයන් නාවික හමුදා පිරිමි සහ කාන්තා වෙඩි තැබීමේ කණ්ඩායම් විසින් හිමි කර ගැනීම‍ට සමත් වූ අතර, කුඩා සිදුරු අවි වෙඩිතැබීමේ ඉසව්ව යටතේ පැවති මිටර් 10 වායු රයිෆල් වෙඩිතැබීමේ කණ්ඩායම් ශූරතාවය සහ මිටර් 50 3X20 රයිෆල් වෙඩිතැබිමේ කණ්ඩායම් පිරිමි ශූරතාවය, නාවික හමුදා පිරිමි වෙඩි තැබීමේ කණ්ඩායම විසින්ද, මිටර් 50 3X20 රයිෆල් වෙඩිතැබිමේ කණ්ඩායම් කාන්තා ශූරතාවය නාවික හමුදා කාන්තා වෙඩි තැබීමේ කණ්ඩායම විසින්ද හිමි කරගැනීමට සමත් විය.

එමෙන්ම, මෙම තරඟාවලියේදී සමස්ථ රයිෆල් වෙඩිතැබීමේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස නායක පාබල එච්ඩිපි කුමාර සහ සම්මත පිස්තෝල වෙඩිතැබීමේ ඉසව්වේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස නායක නැවි බිඑම්පිඑල් දයානන්ද විසින් පදක්කම් හිමි කර ගැනීමට සමත් විය.

තවද, මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක, නාවික හමුදා අධ්‍යක්‍ෂ ක්‍රීඩා කොමදෝරු රොෂාන් අතුකෝරළ, නාවික හමුදා වෙඩි තැබීමේ සංචිතයේ සභාපති කොමදෝරු මංජුල දිසානයක, ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගී වී සිටියහ.