අන්තර් සංවිධාන කණිෂ්ඨ එල්ලේ තරඟාවලියේ සමස්ථ ශූරතාවය නාවික හමුදාව විසින් දිනාගනියි

ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනය විසින් සංවිධානය කරන ලද අන්තර් සංවිධාන කණිෂ්ඨ පිරිමි එල්ලේ තරඟාවලි‍ය, 2023 නොවැම්බර් මස 21 වන දින සිට 24 වන දින දක්වා වැලිසර, නවලෝක ක්‍රීඩා පිටියේදී සහ කැළණිය පොල්හේන සීවලී ක්‍රීඩා පිටියේදී පැවති අතර, එහි සමස්ථ ශූරතාවය නාවික හමුදාව විසින් හිමි කර ගැනීමට සමත් විය.

අන්තර් සංවිධාන කණිෂ්ඨ එල්ලේ තරඟාවලිය සඳහා වත්තල ප්‍රදේශීය සභා කණ්ඩායම, කැළණිය ප්‍රදේශීය සභා කණ්ඩායම, කටාන ප්‍රදේශීය සභා කණ්ඩායම, සිවිල් ගුවන් සේවා සමාගම් කණ්ඩායම, ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම වශයෙන් කණ්ඩායම් 06 ක් තරඟ වැදුණු අතර, අවසන් මහා තරඟය සදහා ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම තේරි පත් විය.

ඒ අනුව, පන්දු 30 කින් සමන්විත වූ එම තරඟයේදී, පළමුව පන්දුවට පහර දුන් ගුවන් හමුදා කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 05 ක් රැස් කර ගත් අතර, පිළිතුරු ඉණිම ක්‍රීඩා කල නාවික හමුදා කණ්ඩායම පන්දු 24 කදී කඩුලු 08 ක් දැවී ලකුණු 06 ක් රැස්කර ගනිමින් අපරාජිතව මෙලෙස අන්තර් සංවිධාන කණිෂ්ඨ එල්ලේ තරඟාවලියේ සමස්ථ ශූරතාවය හිමි කර ගැනීමට සමත් විය.