අභිනව නාවික හමුදාධිපති නිශාන්ත උළුගේතැන්න වෙත ඉන්දීය නාවික හමුදාධිපතිගේ සුභ පැතුම්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති වශයෙන් වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න පත්වීම නිමිත්තෙන් ඉන්දීය නාවික හමුදාධිපති අද්මිරාල් කරම්බීර් සිං විසින් අද (2020 ජූලි 24) දුරකථන පණිවිඩයක් මගින් ඔහුගේ සුභපැතුම් නාවික හමුදාධිපති වෙත පිරිනමන ලදි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඉන්දීය නාවික හමුදාධිපති, ඉන්දීය නාවික හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර ඇති අන්‍යෝන්‍ය බැඳීම තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙනයන බවත්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශක්‍යතාවයන් වඩාත් ශක්තිමත් කිරීමට අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබා දීමට ඉන්දීය නාවික හමුදාව ඉදිරියටත් කටයුතු කරන බව ප්‍රකාශ කර සිටින ලදි. ඉන්දීය සහ ශ්‍රී ලංකා නාවික හමුදා අතර දිගුකාලීන සම්බන්ධතාවයක් පවතින අතර, ඉන්දියානු සාගර කලාපයේ ආරක්‍ෂාව සම්බන්ධයෙන්ද දෙරටේ නාවික හමුදාවන් පාර්ශවකරුවන් වශයෙන් කටයුතු කරනු ලබයි.

මෙහිදී සුභපැතුම් පිළිගන්නා ලද නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ඉන්දීය නාවික හමුදාව විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවික පුද්ගලයන්ගේ පුහුණු කටයුතු සඳහා වසර ගණනාවක සිට ලබා දෙන සහයෝගය ඇගයීමට ලක් කර ඒ සම්බන්ධයෙන් ඉන්දීය නාවික හමුදාව වෙත තම හෘදයාගම ස්තූතිය පළකර සිටින ලද අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හට නාවික හමුදාධිපති ධූරයේ කටයුතු සාර්ථකව සිදු කරමින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉදිරි ගමන් මඟ මෙහෙයවීමට ඉන්දීය නාවික හමුදාධිපතිවරයා විසින් සුභ පැතුම් එක් කරන ලදි.