මිරිසවැටිය වැඳපුදා ගනිමින් අභිනව නාවික හමුදාධිපතිතුමන් ඉදිරි වැඩකටයුතු සඳහා ආශිර්වාද ලබා ගනී.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න 2020 ජූලි මස 25 වන දින අනුරාධපුර මිරිසවැටිය චෛත්‍ය වැඳ ආශිර්වාද ලබා ගන්නා ලදි. මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති තුමන්ගේ දයාබර බිරිඳ වන නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළු‍ගේතැන්න මැතිණිය ඇතුළු නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගීවී විය.

මෙහිදී රජරට විශ්ව විද්‍යාලයේ කුලපති අතිපූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමිපාණන් වහන්සේ විසින් මානුෂීය මෙහෙයුම අවසන් කිරීම සඳහා මහ මුහුදේ සටන් කරමින් ජීවිත පරදුවට තබා නාවික හමුදා විරුවන් සිදු කල සේවය අගය කර සිටි අතර, මනා විනයක් හික්මීමක් ඇති නාවික හමුදා විරුවන් මහසයුරේ සිදුකරන එම අභියෝගාත්මක රාජකාරිය සුළු පටු නොවන බව දේශනා කර සිටින ලදි. තවද යුධ ජයග්‍රණයෙන් නොනැවතුණු නාවික හමුදාව රටට ව්‍යසනයක්ව පවතින මත්ද්‍රව්‍ය ජාවාරම මර්ධනය කිරීම සඳහාද ජාත්‍යන්තර මුහුදේ පවා මෙහෙයුම් දියත් කරමින් මත්ද්‍රව්‍ය උවදුර රටින් තුරන් කිරීම සඳහා රජය විසින් ගෙන යන වැඩ පිලිවලට දක්වන සහයෝගය සම්බන්ධයෙන් ප්‍රශංසා කර සිටින ලදි.

නාවික හමුදාධිපතිධූරය යනු ඉතා සුවිශාල වගකීම් ඇති තනතුරක් බව, ප්‍රකාශ කල උන් වහන්සේ අභිනව නාවික හමුදාධිපති තුමන්ගේ ඉදිරි වැඩකටයුතු සාර්ථකව කර ගැනීම සඳහා ආශිර්වාද සිදු කරන ලද අතර මෙම අවස්ථාව සනිටුහන් කරමින් අතිපූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමිපාණන් විසින් නාවික හමුදාධිපති තුමන් වෙත මිරිසවැටි චෛත්‍යයේ අනුරුවක් සමරු තිළිණයක් වශයෙන් ලබාදීමටද මෙහිදී කටයුතු කරන ලදි.