කඩොලාන පරිසර පද්ධතිය සහ වෙරළ තීරයන් රැක ගැනීම වෙනුවෙන් නාවික හමුදා දායකත්වය

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක ‍කඩොලාන පැල සිටුවීමේ වැඩසටහනක් සහ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2020 ජූලි මස 25 සහ 26 යන දිනයනහි උතුරු සහ දකුණු නාවික විධානයන් කේන්ද්‍ර කරගනිමින් සිදුකරන ලදී.

2020 ලෝක කඩොලාන දිනයට සමගාමීව කඩොලාන පරිසර පද්ධතියේ තිරසාර ආරක්‍ෂාව සහතික කිරීම සඳහා මෙම කඩොලාන පැල සිටුවීමේ වැඩසටහන 2020 ජූලි 26 වන දින නාවික හමුදාව පොන්නාලේ කළපු තීරයේ පවත්වාගෙන යනු ලබන කඩොලාන පරිසර සංරක්‍ෂණ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු කරන ලදි. මෙහිදී කඩොලාන පැළ 400ක පමණ ප්‍රමාණයක් රෝපණය කිරීමට කටයුතු කරන ලද අතර මෙම වැඩසටහන සඳහා උතුරු විධානයේ නිලධාරීන් සහ නාවිකයින් විශාල ප්‍රමාණයක් සහභාගීවී සිටින ලදි.

ශ්‍රී ලංකාවේ සාගරික සහ ගොඩබිම් පරිසර පද්ධතීන් සුරැකීම සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දෙනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාව, කඩොලාන පරිසර පද්ධති ව්‍යාප්ත කිරීමේ වැඩසටහන යටතේ මේ වන විට ‍කඩොලාන පැල විශාල ප්‍රමාණයක් දිවයින වටා කළපු ප්‍රදේශයන් කේන්ද්‍ර කර ගනිමින් රෝපණය කිරීමට කටයුතු කර ඇත.

තවද, එම වැඩසටහනට සමගාමීව තවත් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් කිහිපයක් 2020 ජූලි මස 25 සහ 26 යන දිනයන්හි උතුරු සහ දකුණු නාවික විධානයන් කේන්ද්‍ර කරගනිමින් සංවිධානය කරන ලද අතර, එහිදී උතුරු නාවික විධානයේ කන්කසන්තුරය වරාය ආශ්‍රි වෙරළ තීරය, කෝවිලන්, මාන්කුම්බාන්, විනයසොඩ්, මාවලිතුරෙයි, වල්ලන්, සම්බිලිතුරෙයි සහ වෙත්තලකේණි වෙරළ තීරයන් මෙන්ම දකුණු නාවික විධානයේ ගාල්ල කොටුව ආශ්‍රිත වෙරළ තීරය, ගිංතොට වෙරළ තීරය සහ හම්බන්තොට වෙරළ තීරයන් තුල විසිරී තිබූ අපද්‍රව්‍ය ඉවත් කර පිරිසිදු කිරීමට කටයුතු කරන ලදි. මෙම වැඩසටහන් සඳහාද එක් එක් විධානයන්හි නාවික පුද්ගලයින් විශාල ප්‍රමාණයක් සහභාගීවී සිටින ලදි.

මෙම සියළු වැඩසටහන් පවතින කොවිඩ් 19 අවධානම් තත්වය හේතුවෙන් සෞඛ්‍ය අංශ මගින් ලබාදී ඇති උපදෙස් අනුගමනය කරමින් පවැත්වීමට කටයුතු කරන ලද අතර, දිවයින වටා මුහුදු තීරය රැක ගැනීම වෙනුවෙන් මෙවැනි පරිසර හිතකාමී වැඩසටහන් ඉදිරියේදීද ක්‍රියාත්මක කිරීමට නාවික හමුදාව සූදානමින් සිටී.