ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අභිනව නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා 2020 ජූලි 31 වන සිකුරාදා දින නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමු විය.

ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති ලෙස පත්වීම සම්බන්ධයෙන් නාවික හමුදාධිපතිතුමන් වෙත සිය සුභාශිංසන පිරිනමන ලදි.

මෙම හමුවේදී ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් තුමන් සහ නාවික හමුදාධිපති තුමන් විසින් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගන්නා ලදි.

තවද, 24 වන නාවික හමුදාධිපති ලෙස පත්වීම සම්බන්ධයෙන්, රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාවේ නාවික හමුදාධිපතිගේ සහ ඕස්ට්‍රේලියානු රජයේ, ස්වෛරී දේශසීමා මෙහෙයුම්, ඒකාබද්ධ කාර්ය සාධක බලකා නියෝජිතායතනයේ අණදෙන නිලධාරීගේ සුභපැතුම් පණිවිඩ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා විසින් මෙහිදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත පිරිනමන ලදි. කොළඹ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ගෲප් කපිතාන් ෂෝන් අන්වින් මහතාද මෙම අවස්ථාවට සහභාගී විය.

මෙම සුහද හමුව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති තුමන් හා ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා අතර සමරු තිළිණ හුවමාරුවක් සිදු විය.