රියර් අද්මිරාල් කස්සප පෝල් නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

රියර් අද්මිරාල් කස්සප පෝල් සිය වසර 34 කට අධික නාවික සේවය නිමා කරමින් 2020 අගෝස්තු 03 වන දින විශ්‍රාම යන ලදි.

ඔහුගේ 55 වන උපන් දිනය ද 2020 අගෝස්තු 03 වන දිනට යෙදී තිබූ අතර, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ප්‍රමුඛ නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් විසින් රියර් අද්මිරාල් කස්සප පෝල් හට උපන් දින සුභපැතුම් එක් කරන ලදි. අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මගින් උත්තමාචාරය පුද කරන ලදි.

තවද, සහෘද නිලධාරීන් විසින් රියර් අද්මිරාල් කස්සප පෝල් වෙත සමුදීමෙන් අනතුරුව නාවික රථ පෙළපාලියකින් නාවික හමුදා මූලස්ථානයෙන් පිටත්ව යන අවස්ථාවේ මාර්ගය දෙපස සිට ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව ඔහු වෙත සුභාශිංසන පිරිනමන ලදි.

1986 වර්ෂයේදී නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් කස්සප පෝල්, මීට පෙර බටහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් වෙරළආරක්‍ෂක දෙපාර්තමේන්තුව, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති, අධ්‍යක්‍ෂ ජෙනරාල් පරිපාලන සහ දකුණු නාවික විධානයේ ආඥාපති ආදී ප්‍රමුඛ නිලතල දරමින් කටයුතු කර ඇත.