ගිං ගඟ අවට ප්‍රදේශයේ ගංවතුර අවදානම මැඩලීමට නාවික හමුදාව දායක වෙයි

පසුගිය දින කිහිපය තුළ ඉහල ගංගාධාරා ප්‍රදේශ වලට ඇදහැලුනු ධාරානිපාත වාර්ෂාව හේතුවෙන් ගාල්ල, වක්වැල්ල සහ දොඩම්ගොඩ යන පාලම් ආශ්‍රිතව සිරවී තිබූ දැවකඳන් හා අපද්‍රව්‍ය වලින් අවහිර වී තිබූ ගිං ගඟ නැවත යථාවත් කරමින් ප්‍රදේශයේ පහත්බිම් ගංවතුර අවදානමෙන් මුදවාලීමට පසුගිය සතියේදී නාවික හමුදාව කටයුතු කරන ලදි.

දින කිහිපයක් තිස්සේ දිවයිනේ නිරිත දිග ප්‍රදේශ වලට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් ගිං ග‍ඟේ ජල මට්ටම ඉහල යාමක් නිරීක්‍ෂණය වූ අතර ගංගාවේ ස්ථාන කිහිපයක පිහිටා ඇති පාලම් තුළ විශාල වශයෙන් උණ පඳුරු, දැව කඳන් හා අපද්‍රව්‍ය සිරවීම නිසා මෙම තත්වය ගංවතුර අවදානමක් දක්වා වර්ධනයවීමේ ප්‍රවණතාවක් ඇති විය.

මෙම තත්වය මත දකුණු නාවික විධානයට අනුයුක්ත කිමිදුම් අංශයට අයත් නාවිකයින්ගෙන් සමන්විත කණ්ඩායම් වහාම ගාල්ල, වක්වැල්ල සහ දොඩම්ගොඩ යන ප්‍රදේශවලට පිටත් කර හරින ලද අතර, එම කණ්ඩායම් මගින් පැවති සැඩ ජල පහර හමුවේ මහත් පරිශ්‍රමයක් දරමින් එම දැව කඳන් සහ අපද්‍රව්‍ය ඉවත් කරමින් ගිං ග‍ඟෙහි ජලධාරාව නැවත යාථාවත් කරන ලදි.

මෙහිදී වර්ධනය වෙමින් පැවති ගංවතුර අවදානමෙන් අස්වැසිල්ලක් ලද ප්‍ර‍දේශවාසීන්ගේ කෘතවේදීත්වය නාවික හමුදාවට හිමි වූ අතර, පවතින අයහපත් කාලගුණ තත්වය යටතේ ඇතිවන ඕනෑම අවදානම් තත්වයක් සඳහා මුහුණදීමට නාවික භට කණ්ඩායම් සීරුවෙන් තබා ඇත.