නාවික හමුදාධිපති තුමන් වැලිසර නාවික මහ රෝහලේ නිරීක්‍ෂණ චාරිකාවක

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න 2020 අගෝස්තු 06 වන දින වැලිසර නාවික මහ රෝහලේ නිරීක්‍ෂණ චාරිකා වාරයක නිරත විය. සිය ධූරයේ රාජකාරි භාර ගැනීමෙන් අනතුරුව නාවික හමුදාධිපති තුමන් වැලිසර නාවික මහරෝහලේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූ පළමු අවස්ථාව මෙය විය.

වැලිසර නාවික මහ රෝහල මගින් විශ්‍රාමලත් නාවික පුද්ගලයින්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්, නාවික පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින්, නාවික සිවිල් පුද්ගලයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ඉලක්ක කරමින් ක්‍රියාත්මක විශේෂ ප්‍රතිකාර සේවය මෙ‍හිදී නාවික හමුදාධිපති තුමන්ගේ පූර්ණ අධීක්‍ෂණයට ලක් විය. අන්තර්ජාලය සහ දුරකථන මාර්ගයෙන් සායන දින වෙන්කරවා ගැනීමේ ක්‍රියාපිළිවෙත පිළිබඳව නාවික හමුදාධිපති තුමන් තම විශේෂ අවධානය යොමු කල අතර, එම ක්‍රියාවලිය වඩාත් ඵලදායී සහ කාර්යක්‍ෂමව සිදු කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දීමද සිදු කරන ලදි. එසේම නාවික රෝහල සහ නාවික හමුදා සුභසාධක අංශය වෙතින් රෝගීන් හට නියමකරන ලද ඖෂධ නිවසටම ලබාදීමේ ක්‍රමවේදය මෙහිදී නාවික හමුදාධිපති තුමන්ගේ විශේෂ ඇගයුමට ලක්විය.

අනතුරුව නාවික හමුදා මූලස්ථානය සහ නාවික මහරෝහල නියෝජනය කල නිලධාරීන් සමඟ සාකච්ඡාවක නිරතවූ නාවික හමුදාධිපති තුමන් නාවික හමුදාව විසින් ක්‍රියාත්මක සුභසාධක වැඩපිළිවෙලක් ලෙසින් මෙම ක්‍රියාවලියේ වැදගත්කම අවධාරණය කල අතර, මෙහිදී ඉදිරිපත් වු ගැටළු සඳහා පිළියම් ලබාදීමද සිදු කරන ලදි.

මෙම අවස්ථාවට නාවික හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල්, බටහිර නාවික විධානයේ ආඥාපති, අධ්‍යක්‍ෂ නාවික සුභසාධක ඇතුළු ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් පිරිසක්ද සහභාගී වන ලදි.