නාවික හමුදාධිපතිතුමන් අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්, වසන්ත කරන්නාගොඩ හමුවෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න 2020 අගෝස්තු 10 වන දින ඇතුල් කෝට්ටේදී අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්, වසන්ත කරන්නාගොඩ හමුවිය.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ පළමු වරට අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් නම් ගෞරවනීය නිලය ලද අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, 2005 සිට 2009 වසර දක්වා ශ්‍රී ලංකා නාවික හමුදාවේ 15 වන නාවික හමුදාධිපති වශයෙන් කටයුතු කරන ලද, මෙරටින් ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා මානූෂීය මෙහෙයුම් කාලසීමාවේදී නාවික හමුදාවට නව සංග්‍රාමික උපක්‍රම හඳුන්වා දුන් අත්දැකීම් වලින් පරිපූර්ණ නිලධාරියෙකි.

අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්, වසන්ත කරන්නාගොඩ නාවික හමුදාධිපති වශයෙන් කටයුතු කළ අවධියේ, 4 වන වේග ප්‍රහාරක යාත්‍රා බලඝණයේ අණදෙන නිලධාරි ලෙස ඔහු විසින්ම තෝරා පත් කරන ලද වත්මන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, 2006 ජනවාරි මස සිට 2007 ජුලි මස දක්වා 4 වන වේග ප්‍රහාරක යාත්‍රා බලඝණයේ අණ‍දෙන නිලධාරී ලෙස මානුෂීය මෙහෙයුම සඳහා විශිෂ්ඨ ලෙස දායක වී ඇත.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති වශයෙන් පත්වීමෙන් පසු අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්, වසන්ත කරන්නාගොඩ හමුවූ මෙම පළමු නිල හමුවේදී නාවික හමුදාවේ ඉදිරි කටයුතු සම්බන්ඳයෙන් අදහස් හුවමාරු කර ගන්නා ලද අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදාධිපතිතුමන් සහ අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්, වසන්ත කරන්නාගොඩ අතර සමරු තිළිණ හුවමාරුවක් සිදු කෙරිණි.