ඔස්ට්‍රේලියානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුව වෙතින් රුපියල් මිලියන 23.4 ක් වටිනා සෞඛ්‍යාරක්‍ෂිත පළඳනා තොගයක් නාවික හමුදාවට ප්‍රදානය කෙරේ.

ඔස්ට්‍රේලියානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුව මගින් රුපියල් මිලියන 23.4 ක් වටිනා සෞඛ්‍යාරක්‍ෂිත පළඳනා තොගයක් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ප්‍රදානය කිරීම අද (2020 අගෝස්තු 14) කොළඹ ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් නිල නිවසේදී සිදු විය.

කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්තිය වැලැක්වීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ඒකාබද්ධ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා නාවික හමුදාව ක්‍රියාකාරීව දායක වෙමින් විෂබීජහරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, විෂබීජහරණ කුටි සහ දුරස්ථපාලක රෝග විනිශ්චය උපකරණ නිර්මාණය කර රෝහල් වෙත ලබා දීම වැනි වැඩසටහන් රැසක් සිදු කරන ලද අතර, නිරෝධායන මධ්‍යස්ථාන කිහිපයක් ද නාවික හමුදාව යටතේ පවත්වාගෙන යනු ලබයි.

කොරෝනා වෛරස ව්‍යාප්තිය වැලැක්වීම සඳහා නාවික හමුදාවේ දායකත්වය ඇගයීමට ලක් කරමින් ඔස්ට්‍රේලියානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුව මගින් ප්‍රදානය කරන ලද රුපියල් මිලියන 23.4 ක් වටිනා සෞඛ්‍යාරක්‍ෂිත ඇඳුම් කට්ටල 12000 ක් සහ අත් ආවරණ 200000 ක් ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ගෲප් කපිතාන් ෂොන් අන්වින් විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළු‍ගේතැන්න වෙත අද දින සංකේතාත්මකව ප්‍රදානය කරන ලද අතර, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා ද සහභාගී විය.