නාවික හමුදා තාක්‍ෂණික හා ශ්‍රම දායකත්වයෙන් ඉදි කරන ලද ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අභිනව සංඝ සභා කාර්යාලය විවෘත කෙරේ

නාවික හමුදා තාක්‍ෂණික හා ශ්‍රම දායකත්වයෙන් කොළඹ වැල්ලවත්තේ ඉදිරි කරන ලද ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සංඝ සභා කාර්යාල ‍ගොඩනැගිල්ල අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් 2020 අගෝස්තු 15 වන දින විවෘත කරන ලද අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී විය.

නාවික හමුදා සිවිල් ඉංජිනේරු අංශයේ තාක්‍ෂණික හා ශ්‍රම දායකත්වය මත ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සංඝ සභා කාර්යාල ‍ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් සිදු කර අවසන් කිරීම ඇගයීමට ලක් කරමින් ඒ සඳහා දායක වූ නාවික පුද්ගලයින් සඳහා ත්‍යාග ලබා දීමේ උත්සවයක් මෙම කාර්යාල ගොඩනැගිල්ල විවෘත කිරීමට පෙර, 2020 අගෝස්තු 14 වන දින සංවිධානය කර තිබුනි. එම ත්‍යාග ලබා දීම අමරපුර දායක සභාවේ නියෝජ්‍ය සභාපති අජිත් ද සොයිසා මහතාගේ මූලිකත්වයෙන් සිදු කරන ලද අතර, මෙම අවස්තාව සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හිටපු නාවික හමුදාධිපති අද්මිරාල් (විශ්‍රාමික) පියල් ද සිල්වා, නාවික හමුදා සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ඇතුළු පිරිසක් සහභාගී විය.

අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් නාවික හමුදා තාක්‍ෂණික හා ශ්‍රම දායකත්වයෙන් ඉදි කරන ලද ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සංඝ සභා කාර්යාල ගොඩනැගිල්ල "ශ්‍රීමත් සිරිල් ද සොයිසා" අනුස්මරණ මන්දිරය නමින් 2020 අගෝස්තු 15 වන දින විවෘත කළ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත මහෝපාධ්‍යාය කොටුගොඩ ධම්මාවාස හිමිපානන් ඇතුළු මහා සංඝරත්නය, මැති ඇමතිවරුන්, නාවික හමුදාධිපති සහ තවත් විශාල පිරිසක් සහභාගී වූහ.