වැලිසර නාවික හමුදා මහ රෝහල වෙතින් සායනික ප්‍රතිකාර ලබාගන්නා රෝගීන් සඳහා මාසිකව ඖෂධ නිවෙස් වෙත බෙදා දීමේ නව ක්‍රමවේදයක්

වැලිසර නාවික හමුදා මහ රෝහල වෙතින් සායනික ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් සඳහා 2020 අගෝස්තු 17 වන දින සිට ඔවුන්ගේ නිවෙස් වෙතටම අවශ්‍ය ‍ඖෂධ ලබා දීමේ වැඩපිළිවෙලක් නාවික හමුදාව විසින් ක්‍රියාවට නංවා ඇත.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ සංකල්පයක් මත දැනට වැලිසර නාවික මහ රෝහලෙහි පවත්වනු ලබන සායනයන් මගින් ප්‍රතිකාර ලබා ගන්නා සටනේදී මිය ගිය (KIA) හා අතුරුදහන් වූ (MIA) නාවික පුද්ගලයින්ගේ පවුල් වල සාමාජිකයින්, සටනේදී ආබාධිතව විශ්‍රාම ගන්වන ලද නාවික පුද්ගලයින් (WIA) හා ඔවුන්ගේ පවුල්වල ලඟම ඥාතීන්, දැනට සේවයේ නියුතු නාවික පුද්ගලයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සහ සේවා කාලය සම්පූර්ණ කර විශ්‍රාම ගොස් සිටින නාවික පුද්ගලයින් හා ඔවුන්ගේ කාලත්‍රයන් සඳහා නව ක්‍රමවේදයක් යටතේ මාසිකව ලබා ගන්නා ලද ඖෂධ අතරින් ශීත දාමයේ පවතින ඖෂධ හැර (ඉන්සියුලින් වැනි) අනෙකුත් ඖෂධ ඔවුන්ගේ නිවෙස් වෙතම ලබා දීමේ වැඩපිළිවෙලක් මෙලෙස ක්‍රියාවට නංවා ඇත.

මෙම ක්‍රමවේදය යටතේ දීර්ඝ කාලීනව ප්‍රතිකාර නිර්දේශ කරනු ලබන (දියවැඩියාව, අධිරුධිර පීඩනය, හෘද රෝග, ඇදුම, කාලීන වකුගඩු රෝග, ගර්භනී තත්ව, අක්‍ෂි, චර්ම, ස්නායු සහ මානසික රෝග) රෝගීන් හට ඖෂධ බෙදා හැරීම සිදු කිරීමට අදහස් කරන අතර, මේ සඳහා විශේෂඥ වෛද්‍යවරුන් විසින් ඔවුන් රෝගියා පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව නිර්දේශ කරන ලද ඖෂධ පත්‍රිකාව, අවසන් වරට නිකුත් කරන ලද ඖෂධ වට්ටෝරුව, ලියාපදිංචි අංකය සහිත පවුල් ප්‍රතිකාර පෝරමය සහ දුරකථන අංකයද ඇතුලත්ව ඖෂධ ලැබිය යුතු ලිපිනය, ග්‍රාම සේවක වසම වට්ස්ඇප් (WhatsApp), වයිබර් (Viber) හෝ ඉමෝ (Imo) තාක්‍ෂණය ඔස්සේ 076 3305033 දරණ දුරකථන අංකය වෙත යොමු කිරීමට කටයුතු කළ යුතුය.

තවද, ඉන්සියුලින් වැනි ශීත දාමයේ පවතින ඖෂධ ලබාගන්නා පුද්ගලයින් වෙතොත් ඔවුන් නාවික මහ රෝහල වෙත පැමිණ වෛද්‍ය නිර්දේශයන් මත අදාල ඖෂධ ලබා ගැනීමට කටයුතු කළ යුතු අතර, මේ සම්බන්ධයෙන් සියළු විමසීම් පහත දුරකථන අංක ඔස්සේ සිදු කල හැක.

076 3305033 - සටනේදී මියගිය හා අතුරුදහන් වූ නාවික පුද්ගලයින්ගේ පවුල්වල ලඟම ඥාතීන්, සටනේදී අබාධිතව විශ්‍රාම ගන්වන ලද නාවික පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල ලඟම ඥාතීන්

076 4608868 - විශ්‍රාමික නිලධාරීන්, ඔවුන්ගේ කාලත්‍රයන් සහ දැනට සේවයේ නියුතු නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයින්

076 4608520 - විශ්‍රාමික නාවිකයින්, ඔවුන්ගේ කාලත්‍රයන් සහ දැනට සේවයේ නියුතු නාවිකයින්ගේ පවුල්වල සාමාජිකයින්