උතුරු සහ දකුණු වෙරළ තීරය නාවික හමුදා දායකත්වයෙන් පිරිසිදු කෙරේ

දිවයින වටා වූ වෙරළ තීරය අපද්‍රව්‍ය වලින් තොර කළාපයක් ලෙස පවත්වා ගැනීම සඳහා නාවික හමුදාව විසින් දියත්කල තවත් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් පෙළක් උතුරු සහ දකුණු වෙරළ තීරයන් කේන්ද්‍ර කර ගනිමින් පසුගිය සතිය තුල ක්‍රියාත්මක කෙරිණි.

මේ යටතේ උතුරු නාවික විධානය විසින් කන්කසන්තුරය වරාය ආශ්‍රිත වෙරළ තීරය, කරෙයිනගර් කසුරිනා වෙරළ, කයිට්ස් චට්ටි සහ කරප්පන් වෙරළ, වෙත්තලයිකර්ණි කඩයිකාඩු වෙරළ, ඩෙල්ෆ්ට් දූපත අවට වෙරළ, පුංගුඩුතිව් කුරිකඩ්ඩුවාන් අවට වෙරළ සහ පල්ලිකුඩා චෙට්ටියාර්කුලම් ධීවර වරාය ඇතුලත වෙරළ තීරය පිරිසිදු කෙරිණි. දකුණු නාවික විධානය විසින් එම විධාන මූලස්ථානයේ සිට ගාල්ල නගරය දෙසට වූ වෙරළ තීරය, තංගල්ල පරවිවැල්ල වෙරළ තීරය සහ හම්බන්තොට නගරය අවට වෙරළ තීරය පිරිසිදු කෙරිණි.

නාවික හමුදාව විසින් දියත් කෙරුණු වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මගින් වෙරළ තීරයන් මත විසිරී තිබූ ප්ලාස්ටික් සහ පොලිතීන් ඇතළු අපද්‍රව්‍ය රැසක් ඉවත් කෙරුණු අතර. මේ සඳහා සහභාගී වූ නාවික පුද්ගලයින් කොවිඩ් 19 ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා ලබා දී ඇති සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මෙම වැඩසටහන් සඳහා සහභාගී වූහ.